බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ පැවති ක්‍රිකට් තරගය ලකුණු 41කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

අලුත් වූ ක්‍රිකට් පරිපාලනය යටතේ, නව පුහුණුකරු ගැරී කර්ස්ටන්ගේ මෙහෙයවීමෙන් සහ නැවත නායකත්වයේ වගකීම පැවරුණු කුසල් මෙන්ඩිස් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරඟය මෙයයි.

තරඟය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි කින්ස්ටන් හිදී පැවැත්වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 303ක් රැස්කර ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකයි.

ඔහු පන්දු එකසිය තුනකදී හයේ පහරක් සහ හතරේ පහර නවයක් සමග ලකුණු 79ක් ලබා ගත්තා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 62දී ලකුණ 73යි. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් ඇතුළත්.

මීට අමතරව ජනිත් ලියනගේ වේගවත් පිතිහරඹයක යෙදෙමින් පන්දු 29දී ලකුණු 44 ක් ලබා ගත්තා.

ඒ හයේ පහරක් සහ හතරේ පහර පහක් ද සමඟයි.

චරිත් අසල අංක පන්දු 44කදී ලකුණු 45ක් ලබා ගත්තා.

අනතුරුව ලකුණු 304ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසී කොදෙව් පිතිකරුවන්ට පන්ඳු වාර 49යි පන්දු 2දී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 262ක් පමණයි.

පන්දු 66දී ලකුණු 56ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට නායක ශයි හෝප් ප්‍රබල උත්සාහයක් ගත්තා.

ජස්ටින් ග්‍රේවුස් පන්දු 38දී ලකුණු 45යි.

එහෙත් ජයග්‍රහණය සඳහා කණ්ඩායම රැගෙන යාමට එය ප්‍රමාණවත් වූයේ නැහැ.

දුෂ්මන්ත චමීර ලකුණු 67ට කඩුලු හතරක් දවා ගත්තා.

කොදෙව් පිතිකරුවන් මුළුමනින්ම පාලනය කරමින් සාර්ථක පන්දු යැවීමක යෙදුණු මහීෂ් තීක්ෂණ ලකුණු 26ට කඩුලු 2යි.

දෙපිල අතර එක්දින තරගාවලියේ දෙවන තරගය ලබන ඉරිදා පැවැත්වෙනවා.