ඉදිරි දින කිහිපයේදීද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ පැසිෆික් සාගරයේ එල්නිනෝ තත්ත්වය ප්‍රබල මට්ටමක පැවතීම වැසි තත්ත්වය ඉහළ යාමට ද හේතුවි ඇති බවයි

"ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් අපිට දිවයිනේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් ගත්තොත් මේ දිනවල දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපය සක්‍රීය තත්ත්වයේ පවතිනවා. ඒ වගේම සමහර දෝලනයන්, සමකාසන්න දෝලනයන් විශේෂයෙන් අපි ගත්තොත් මෑඩන් ජූලියන් දෝලනය (Madden-Julian Oscillation) වගේ දෝලනයන් ශක්තිමත්ව නෙමෙයි පවතින්නේ. මෙවැනි තත්ත්වයන් පවතින අවස්ථාවල ගිගුරුම් සහිත වැසිවල තීව්‍රතාවය වැඩිවීමේ හැකියාව පවතින නිසා ඉදිරි නිවේදන ගැන අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම මේ දිනවල ඔබ දන්නවා පැසිෆික් සාගරයේ එල්නිනෝ තත්ත්වය ප්‍රබල මට්ටමක පවතිනවා. එහි බලපෑමත් තියෙනවා මේ වර්ෂාපතනය වැඩිවීම් කෙරෙහි. එතකොට ඒ නිසා ඉදිරි දිනවලත් තවදුරටත් අපිට වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන නිසා ඉදිරි කාලගුණ නිවේදන ගැන අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම මේ සතියේ ටිකක් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් නොවැම්බර් මාසයේ 11 වන විට ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ ලකුණු පවතිනවා. මේ සම්බන්ධවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විදියට අපි අවධානයෙන් කටයුතු කරනවා. මෙන්න නිසා විශේෂයෙන් ධීවර සහ නාවික ප්‍රජාව, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ කටයුතු කරන ධීවර සහ නාවික ප්‍රජාව ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරන්න කැමතියි."

මේ අතර අද පස්වරුවේද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
"දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වලත් ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේත් දවසේ ඕනෑම අවස්ථාවක විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව අද දිනයේ පවතිනවා. විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත් ඒ වගේම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අද දිනයේදීත් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ සවස් කාලයේ ඇතිවෙන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානම තියෙනවා. ඒ වගේම කෙටි කාලයක් තුළ එන තද සුළං සහ තද වැසි අපේක්ෂා කරන්න පුළුවන්. මෙන්න නිසා ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන ප්‍රබල අකුණු මගින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්න කියන එක අපි ජනතාවට මතක් කරන්න කැමතියි."