වසර විස්සක් පුරා නොවිසඳුණු රාජ්‍ය සේවයේ වැටුප් ගැටලු විසඳීමට ආණ්ඩුව මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති ආණ්ඩුවට අවස්ථාව ලබාදිය යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මෙවර අයවැයෙන් තම වැටුප් ගැටලු විසඳී නොමැති බවට වෘත්තීය සමිති රැසක් සිදු කරන චෝදනාවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

''රාජ්‍ය සේවයේ තියෙන වැටුප් විෂමතා, දීමනා පිළිබඳ විෂමතා, බඳවා ගැනීම්, උසස් කිරීම්, සේවා ව්‍යවස්ථා පිළිබඳ ගැටලු පුරා වසර 20ක් තිස්සේ තියෙන ඒවා. 2006 - 6/2006 වැටුප් චක්‍රලේඛනය මගින් තමයි ඒ සියලු දේ නිර්මාණය වුණේ. එතකොට වගකිවයුතු ආණ්ඩුවක් විදිහට දැන් අපට මේ අවස්ථාව ලැබුණහම අපේ වගකීම තමයි ඒවා විසඳීම සඳහා අවශ්‍ය කරන විද්‍යාත්මක, නිවැරදි, පිළිගත හැකි වැඩපිළිවෙළකට ප්‍රවේශ වීම. ඒ සඳහා තමයි ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස 2026 අයවැය ඉදිරිපත් කරමින් වැටුප් කොමිසමක් ස්ථාපිත කරන්න යෝජනා කළේ. ඒ කටයුත්ත දැන් ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵල එන්න නියමිතව තියෙනවා. ගැසට් එකෙන්ම වැටුප් කොමිසමට ලැබිච්ච කාලය වසරක්. ඒ වසර නිමාවෙන්නේ 2027 ජූලි වල. එතකොට ඒ කාලසීමාව ඇතුළේ දැන් කොමිෂන් සභාව වැඩ පටන් අරන් තියෙනවා. වෘත්තීය සමිති අදහස් යෝජනා ලිඛිතව ගත්තා. ඒ වගේම දැන් වෘත්තීය සමිති එක්ක වටමේස සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒ සියලු අදහස් යෝජනා සැලකිල්ලට ගනිමින් කොමිෂන් සභාව විසඳුමක් ලබා දෙන්න නියමිතව තියෙනවා. ඉතින් රටක රාජ්‍ය සේවයේ ආණ්ඩුවක් ඒ රාජ්‍ය සේවාව සම්බන්ධයෙන් තියෙන ගැටලු විසඳීම සඳහා ස්ථිර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් යද්දී කවුරුහරි ඒක අමතක කරලා, ඒක නොසලකා, වැඩ කරන ජනතාව වෙන වෙන දේවල් වලට පොළඹවන්න උත්සාහ කරනවා නම් ඒක ඉතාම කුහක දේශපාලන වුවමනාවක්''

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා.

'' පැහැදිලිවම ඒ සූදානම නිසාම තමයි වැඩ කරන ජනතාවට ඉතාම සද්භාවයෙන් සවන් දෙන ආණ්ඩුවක් නිසාම තමයි වැඩ කරන ජනතාවගේ අරගලයකින් තොරව ජනාධිපතිතුමා 2026යේම වැටුප් කොමිසමක් යෝජනා කරලා මේ ප්‍රශ්න විසඳන්න වැඩපිළිවෙළක් හදලා තියෙන්නේ. ඉතින් ඇහුම්කන් නොදෙනවා නම්, නේ, මොකද අවුරුදු 20ක් තිස්සේ තිබිච්ච ප්‍රශ්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නොසලකා හැරියා නම් අද මේ ක්‍රියාමාර්ග නෑනේ. ඒ නිසා ඉතාම පැහැදිලියි වසර 20කට පස්සේ වැටුප් කොමිසමක් පත් කරලා වැටුප් විෂමතා විසඳන්නත් කටයුතු කරන අතරේ, ඒ කාල පරාසය අතරමැද යම් මූලික වැටුප් වැඩි කිරීමකුත් කරලා, ඒ හරහා ලබා දෙන්න පුළුවන් ප්‍රතිලාභත් වැඩි කරලා වැටුප් වැඩි කිරීමකුත් කරලා තියෙනවා. ඉතින් වත්මන් ආණ්ඩුව මේ අවුරුදු තුනට අලුත් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම අනුව, අර්ධ රාජ්‍ය වැටුප් වැඩි කිරීම අනුව භාණ්ඩාගාරයෙන් අතිරේකව රුපියල් බිලියන 33ක් - කෝටි 33,000ක් - මේ වෙනකොටත් වැය කරන්න නියමිතව තියෙනවා. ඒ අදාළ කරන ඉතුරු මුදල තමයි මෙවර අයවැයෙන් අනුමත කරන්න යෝජනා කරලත් තියෙන්නේ.''