දකුණු අන්දමන් මුහුදු ප්රදේශය ආශ්රීතව වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන් ඉදිරියේදී ශ්රී ලංකාවට ඍජු බලපෑමක් එල්ල නොවුනද වක්ර බලපෑම් එල්ල විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර අද පස්වරුවේද දිවයිනේ ප්රදේශ කිහිපයක වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ සජිත් වික්රමසූරිය මහතා පැවසුවා.
"පසුගිය දිනවල බෙංගාල බොක්කේ පැවැති 'ෆෝනප්' සුළි කුණාටුව මේ වනවිට ඉන්දියාවට ඇතුළු වෙලා තියෙනවා. ඒ සමගම එහි ප්රබලතාව මේ වනවිට ක්රමයෙන් අඩුවෙමින් පවතින්නේ. මේ වනවිට එය පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තියෙනවා. අද හවස 5:30 පමණ වනවිට ශ්රී ලංකාවේ වෙලාවෙන් එය අඩු පීඩන තත්ත්වයක් දක්වා දුර්වල වෙමින් පවතිනවා. ඒ අනුව එහි බලපෑම ශ්රී ලංකාවට තිබුණු බලපෑම ක්රමයෙන් ඉවත් පවතිනවා. කෙසේවෙතත් අද දිනයේදී බස්නාහිර, සබරගමුව, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන ප්රදේශවල වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වෙනවා. මීට අමතරව සවස කාලයේදී හෝ රාත්රී කාලයේදී ඌව පළාතෙත්, අමාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්රික්කවල සවස 1.00න් පමණ පසුව පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. සෙසු ප්රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් අද දිනයේ බලාපොරොත්තු වෙනවා."
"දිවයින අටාවන මුහුදු ප්රදේශවල කාලගුණ තත්ත්වය සැලකුවොත්, තැනින් තැන දිවයින අටාවන මුහුදු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. සුළං තත්ත්වය සැලකුවොත්, සුළං නිරිත දෙසින් හමා එන්නේ. එහි සාමාන්ය වේගය පැයට කිලෝමීටර් 25-35ත් අතර අගයක පවතිනවා. කෙසේවෙතත් පුත්තලම සිට කංකසන්තුරේ හරහා මුලතිව් දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා යන මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45 දක්වා වැඩිවෙන්න පුළුවන්. මේ හේතුවෙන් එම මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු වීමේ හැකියාව පවතිනවා. බෙංගාල බොක්ක ආශ්රිතව මුහුදු යාම වැළැක්වීමට තිබූ අනතුරු ඇඟවීම් අපි මේ වනවිට ඉවත් කර තිබෙනවා. නමුත් ඒ ආශ්රිත ධීවර කටයුතුවල යෙදෙන ජනතාවට, ධීවර ප්රජාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියලා. පීඩන අවපාතයක් නෙමෙයි, එතන පොඩි කැලඹිලි ගතියක් තියෙනවා, යම් වර්ධනයවීමකුත් දකින්න තියෙනවා. ඒක කොහෙත්ම සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් ඒ පිළිබඳවත් ධීවර ප්රජාව, විශේෂයෙන් ලංකාවට තියෙන බලපෑම ඉතාමත් අඩුයි, වැසි තත්ත්වය වැඩිවීමක් හෝ සුළං තත්ත්වය වැඩිවීමක්, නමුත් ධීවර ප්රජාව ඈත දියඹේ බෙංගාල බොක්ක මධ්යම ප්රදේශයේ රැකියාවල නිරතවන ධීවර ප්රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා."
මේ අතර ප්රධාන ගංගා කිහිපයක ඇතැම් පහත් බිම් තවමත් සුළු ගංවතුර තත්ත්වයේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.
එමෙන්ම ජලාශ 38ක ප්රමාණයක් තවදුරටත් වාන් දමන බවයි එම දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ආපදා කළමණාකර අධ්යක්ෂ ඉංජිනේරු එල් එස් සූරිය බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ.
"ගංවතුර තත්ත්වය සඳහන් කරොත්, විශේෂයෙන්ම නිල්වලා ගඟේ සුළු ගංවතුර තත්ත්වය තවමත් පවතිනවා සහ ඉතා සෙමින් අඩුවීමක් තමයි දකින්නට තියෙන්නෙ. නමුත් වැඩිවීමක් අපේක්ෂා කරන්නේ නැහැ, දකින්නට පිරික්සනය වෙන්නේ නැහැ. ඒ වගේම ගිං ගඟ බද්දේගම සහ ඒ ආසන්නයේ තවමත් සුළු ගංවතුර තත්ත්වය පවතිනවා, ක්රමයෙන් අඩුවෙමින් පවතිනවා, තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ වගේම කළු ගඟ මිල්ලකන්ද සහ පුටුපවුල, කළුතර දිස්ත්රික්කයේ ආසන්නයේ පවතින අනෙකුත් පහත්බිම් තවමත් තවදුරටත් සාමාන්ය වැඩිවීමක් වගේම සුළු ගංවතුර තත්ත්වයක් හෝ ඊට ආසන්න මට්ටමේ ජල මට්ටමක් පවතිනවා. මේ නිසා කළු ගඟ ආසන්නයේ කළුතර සහ ඒ ආසන්න ප්රදේශ, ඒ වගේම පාලින්දනුවර, බුලත්සිංහල වැනි ප්රදේශවල තවමත් යම් ප්රදේශ ජලයෙන් යටවීමේ හැකියාව සහ යටවෙමින් පවතිනවා. මේ නිසා ඉතාම සෙමින් තමයි විශේෂයෙන්ම කුඩා ගඟ ජල මට්ටම් අඩුවෙමින් පවතින්නේ. මේ නිසා කළු ගඟ පහළ ප්රදේශ තවමත් සුළු ගංවතුර තත්ත්වයක පවතිනවා. අනෙකුත් ගංගාවල විශේෂයෙන්ම කැලණි ගඟ, අත්තනගලු ඔය, මහා ඔය වැනි ගංගාවල ජල මට්ටම් ක්රමයෙන් සාමාන්ය තත්ත්වයට පත්වෙමින් පවතිනවා."




