අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පැවැත්වුණා.
එහිදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ බවයි නෙත් නිව්ස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
ඒ අනුව වැඩිදුර වාර්තාව සමග පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමුණුම් දෙකක්ද පොලීසිය අධිකරණට ඉදිරිපත් කළා.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණකරුගේ ශරීරයෙන් ලබා ගත් ලේ සාම්පල් දෙකක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.
එමෙන්ම සැකකරුගේ ජංගම දුරකථනයේ මුරපදය වශයෙන් ඔහුගේ මුහුණ සටහන්ව ඇති නිසා එය විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් එම නිසා අදාළ ජංගම දුරකථනය එය නිෂ්පාදනය කළ සමාගමට හෝ නිසි ආයතනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.
එමෙන්ම අපරාධ ස්ථානයේ තිබී සොයාගත් මරණකරුගේ ගෙල බැඳි පටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේදැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කලා.
එහිදී පොලිසිය කියා සිටියේ එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.
එය රජයේ රස පරීක්ෂකවරයා වෙතද යොමු කරන බවද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අමතමින්” සිද්ධිය වූ ස්ථානයේ ඖෂධ වගයක් තිබුණා. ඒ වගේම කඩදාසියක හේතු හඳුනා නොගත් බෙහෙත් වගේකුත් තිබුණා. ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළාද?” යනුවෙන් විමසුවා.
ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පැවසුවේ එම ඖෂධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කළ බවයි.
ඉන් අනතුරුව මෙම ඖෂධ මෝසමක් මාර්ගයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ඉල්ලීමක් කරන බවත් පොලිසිය පැවසුවා.
ඒ අනුව පොලිසිය විසින් කළ ඉල්ලීම්වලට අධිකරණය විසින් අවසර ලබා දුන්නා.
ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයේ මෙහෙයවීම යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණු අතර අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 14 වනදා දක්වා කල් තැබුණා.




