කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ සීමා නිර්ණ කටයුතු අවසන් වූ පසු ඡන්ද විමසීමට අදාළ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අදාළ පළාත් පාලන ආයතන දෙකෙහි සීමා නිර්ණ කටයුතු තවදුරටත් අවසන් වී නොමැති බවයි.

කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ කටයුතු ආරම්භ කළ යුතු දිනය ලෙස ලබන වසරේ මාර්තු 15වන දින ලෙස නියම කරමින් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළා.

මහ නගර සභා සහ නගර සභා ආඥා පනතට අනුව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබුණා.

කෙසේවෙතත් අදාළ පළාත් පාලන ආයතනවල ඡන්දය පැවැත්වීමට පෙර ඒවායේ සීමා නිර්ණ කටයුතු සිදුකර කොට්ඨාශ වෙන්කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

අදාළ කටයුතු සඳහා ජාතික සහ දිස්ත්‍රික් වශයෙන් සීමා නිර්ණ කමිටු 2ක් පත්කර ඇති අතර එම කමිටු වාර්තා අනුව කොට්ඨාශ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

කොට්ඨාශ ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය පළකිරීමෙන් පසු කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ ඡන්දය පැවැත්වීමට අදාළ නාමයෝජනා කැදවීමේ දිනය ප්‍රකාශයට පත්කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.