යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ හයවන අදියර සිව්වන දිනයේ කැනීම් තුළින් තවත් මිනිස් සිරුරක අස්ථි කොටස් ගොඩගැනීම ඊයේ(30) සිදුකළ බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ.නිරංජන් මහතා පවසනවා.

චෙම්මනි සමූහ මිනිවළ හයවන අදියර කැනීම් කටයුතු පසුගිය 27 වැනිදා යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කෙරුණා.

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනිවළ පස්වන අදියර කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා නවතා දැමු බව සමූහ මිනිවළ කැනීම් නිළධාරීන් පැවසුවා.

කැනීම් නිළධාරීන් පැවසූවේ සමස්ත කැනීම් තුළින් මේ වන විට මිනිස් සිරුරු 241 කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන ඇති බවයි.

පස්වන අදියර කැනීම් කටයුතු අවසන් වන විට සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 240 කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන තිබු අතර,ඉන් මිනිස් සිරුරු 239 කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන තිබුණා.

යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ, කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ට මහාචාර්ය රාජ් සෝමදේව මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කටයුතු සිදුකරනු ලබනවා.

සමූහ මිනිවළ තුළින් හමුවු අස්ථි කොටස් හා සමූහ මිනිවළ තුළින් හමුවු භාණ්ඩ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා භාරයේ තබා තිබෙනවා.
පසුගිය සමයේ පැවති දිට්වා සුළි කුණාටු තත්වය හා වැසි තත්වය හේතුවෙන් කැනීම් ස්ථානයේ ජලය පිරී පැවතීම හේතුවෙන් කැනීම් කටයුතු නවතා දමා තිබුණා.