ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින සියලුම සන්නද්ධ ගැටුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට දෙපාර්ශවයම එකඟතාවකට පැමිණ තිබෙනවා.

මෙම ඓතිහාසික සාම ගිවිසුම පිළිබඳව මුලින්ම ලෝකයට අනාවරණය කළේ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් විසින්.

ලෙබනනය ඇතුළු සියලුම පෙරමුණුවල සිදුවන මිලිටරි මෙහෙයුම් ස්ථිර වශයෙන්ම නතර කිරීමට ඇමෙරිකාව සහ ඉරානය එකඟ වූ බව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා තහවුරු කළා.

කෙසේ වෙතත් මෙම සාම ගිවිසුමට නිල වශයෙන් අත්සන් තැබීම සිදුවන්නේ ලබන සිකුරාදායි.

බොහෝ විට ස්විට්සර්ලන්තයේදී ගිවිසුමට අත්සන් තැබීම සිදුවනු ඇතැයිද ප්‍රකාශ කෙරුණා.

මේ අතර සඳහා එළඹි එකඟතාව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් තහවුරු කර තිබෙනවා.

ඔහු පවසන්නේ ඉරානය සමඟ ඇති කරගත් සාම ගිවිසුම සම්පූර්ණ බවයි.

ඒ අනුව ඉරානයට පනවා තිබූ ඇමෙරිකානු නාවික අවහිරතා වහාම ඉවත් කරන ලෙසත්, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන ”හෝමුස් සමුද්‍ර සන්ධිය” නැවත විවෘත කරන ලෙසත් ඔහු නියෝග කර තිබෙනවා.

"ලෝකයේ නැව් සියල්ලම පණ ගන්වන්න, නැවතත් තෙල් ගලා යාමට ඉඩ හරින්න" යනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතා උද්යෝගයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

තමාට පෙර සිටි කිසිම ජනාධිපතිවරයෙකුට ඉරානය සමඟ මෙවැනි සාමයක් ඇති කර ගැනීමට නොහැකි වූ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර, ඉරාන රජයේ රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය කසීම් ගරීබාබාදි ද ගිවිසුම සඳහා එළඹ එකඟතාව තහවුරු කළා.

අද රාත්‍රියේ සිටම සියලු මිලිටරි මෙහෙයුම් අවසන් වන බවයි ඔහු කියා සිටියේ.

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරත් සමඟයි මැද පෙරදිග මහා යුද්ධය ආරම්භ වුණේ.

ඉන්පසුව ඉරානය විසින් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු හිතවාදී රටවලට පෙරළා ප්‍රහාර එල්ල කළා.

මේ නිසා ලෝක ආර්ථිකයට සිදුවූ බලපෑමද ඉතා ප්‍රබලයි.

කෙසේ වෙතත් සිකුරාදා අත්සන් තැබෙන මෙම නව සාම ගිවිසුම නිසා ලෝක වෙළඳපොළට සහ ආර්ථිකයට නැවතත් සුබදායී කාලයක් උදා වනු ඇතැයි ලෝක දේශපාලන විචාරකයින් විශ්වාස කරනවා.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපන්දිනය යෙදී තිබුණේ ඊයේටයි.

දැන් ඔහුට වයස අවුරුදු අසූවක්.

සාම ගිවිසුම සඳහා ඉරානය සමග එළඹී එකඟතාව ඔහුට ලැබුණු වටිනාම උපන්දින ත්‍යාගයක් ද බව ඇතැම් විචාරකයන් පවසනවා.