බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය - නිදහසේ පාද යාත්‍රාව අවසන් දිනය අදයි.

අද පෙරවරුවේ කඩවතින් ආරම්භ වන පාද යාත්‍රාව කොළඹ දක්වා පැමිණීමට නියමිතව තිබෙනවා.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමි.
"අපි ජනාධිපතිතුමාට මතක් කරනවා, අද දිනයේදී අපි මේ කඩවතින් අධිෂ්ඨානයේ පාගමන ඥානසාර හාමුදුරුවන්ට නිදහස ලබාදීම වෙනුවෙන් ආරම්භ කරනවා. ඔබතුමාට පුළුවන් මේ පාගමන සාමකාමීව අපි එන අහිංසකාවාදී පාගමනට, අපේ බලාපොරොත්තුව මහ සංඝරත්නයේ අපේක්ෂාව මේ මුළු මහත් සතේම ජාති ආගම් භේදයකින් තොරව අපේක්ෂාව බලාපොරොත්තුව ඥානසාර හාමුදුරුවන් වහන්සේට නිදහස පූර්ණ වශයෙන් ලබාදීම. ඒ නිසා අද දිනයේ අපි මේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ ඉදිරිපිට සපථ කරනු ලැබූ අධිෂ්ඨානය සමගිනුයි අපි අද පැමිණෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමාට අද අවස්ථාව තිබෙනවා, මහ සංඝරත්නය මේ කරන ඉල්ලීම අධිෂ්ඨානය සත්‍ය ක්‍රියාවට ඇහුම්කම් දීලා, අද දිනයේදී ඒ වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ජනාධිපතිතුමා කැඳවන තැනකට එන්න බලාපොරොත්තුවෙන් තමයි කඩවතින් අද අපි මේ ගමන ආරම්භ කරන්නේ."

මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසින් පසුගිය 10 වනදා මෙම පද යාත්‍රාව ආරම්භ කරනු ලැබුවා.

මේ අතර බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ඒමේදී චීවරය පැළඳීමට පූර්ණ අවසර හිමි බවත්, අදාළ නිකායෙන් එසේ නොකරන ලෙස දන්වන තුරු එම අයිතිය පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

බන්ධනාගාර ආඥාපනත යටතේ සකස් කරන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.