බන්ධනාගාර ගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් උපන්ගම කරන්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව අද විරෝධතාවක් පැවැත්වුණා.

විරෝධතාව සංවිධාන කර තිබුණේ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් බවයි එම අවස්ථාව ආවරණ කළ නෙත් නිවුස් නියෝජිත ඩී ජේ විජේසිංහ පැවසුවේ.

සිවුර ගලවා ගිහි ඇදුමකින් ඥානසාර හිමියන් පසුගියදා අධිකරණයට ඉදිරිපත් කිරීමට එරෙහිව එම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් එලෙස විරෝධතාවේ නිරත වූ බවද නෙත් නිවුස් නියෝජිතයා පැවසුවා.

ඒ අනුව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු රැගෙන පළමුව ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

ඉන් අනතුරුව ඔවුන් සිය විරෝධතා පුවරු රැගෙන කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්වීමට සහභාගි වූ බවද නෙත් නිවුස් නියෝජිතයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය - නිදහසේ පාද යාත්‍රාව අද පෙරවරුවේ නිට්ටඹුව නගරයෙන් ගමන් ආරම්භ කළා.

එම පාද යාත්‍රාව අද කඩවත නගරය දක්වා පැමිණීමට නියමිතයි.

මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසින් පසුගිය 10 වනදා ගමන් ආරම්භ කළ ‘සිවුරට යුක්තිය - නිදහසේ පාද යාත්‍රාව හෙට දිනයේ දී කොළඹට ළඟාවීමට නියමිතයි.