බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ රසිකා ගුණතිලක මහත්මිය පැවසුවේ.

"බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන්න පුළුවන්. ඒ වගේම වයඹ පළාතෙත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන්න පුළුවන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම වස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද පැවැතිය හැකියි."

මේ අතර පසුගිය දිනවල ඇදහැළුණු jeis හමුවේ ඇතැම් ප්‍රධාන ගංගා ආශ්‍රිතව පැවති සුළු ගංවතුර තත්ත්වය මේ වනවිට පහව යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරිය බණ්ඩාර මහතා පැවසුවා.

"විශේෂයෙන්ම මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් පවතින්නේ. නිල්වලා ගඟ, ගිං ගඟ පහළ ප්‍රදේශ සහ කළු ගඟේ කුඩා ගඟ ප්‍රදේශයේත් ජල මට්ටම් අඩුවෙමින් පවතිනවා. සාමාන්‍ය මට්ටමට බොහෝ ස්ථාන පැමිණ තිබෙනවා. කැලණි ගඟ, අත්තනගලු ඔය ජල මට්ටම් සාමාන්‍ය අතට පත් වෙමින් පවතින්නේ. ඒ වගේම නිල්වලා ගඟේ පහළ ප්‍රදේශයේ, විශේෂයෙන්ම තලගහගොඩ සහ මාතර ආසන්න තූඩාව, මාලිම්බඩ වැනි ප්‍රදේශවල ජල මට්ටම් සෙමින් අඩුවෙමින් පවතිනවා. ඒ වගේම ගිං ගඟ බද්දේගම ප්‍රදේශයේත් ජල මට්ටම් ඉතාම සෙමින් නමුත් අඩුවෙමින් පවතිනවා. කළු ගඟ අනික් ගොඩක් රත්නපුර සහ ඒ ඇල්ලගාව ඇතුළු ජල මට්ටම් පහළ බැහැලා තියෙන්නේ. කෙසේ නමුත් තවමත් කුඩා ගඟ මිල්ලකන්ද ජල මට්ටම් ඉතාම සෙමින් අඩුවෙමින් පවතින්නේ. කෙසේ නමුත් මෙම තෙත් කලාපයේ ගංගාවල ජල මට්ටම් බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයට පත්වීමේ හැකියාව තියෙනවා. අද දවසේ වර්ෂාපතනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දීලා තියෙන්නේ සාමාන්‍ය වර්ෂාපතනයක්, විශාල වර්ෂාපතනයක් අපේක්ෂා කරන්නේ නෑ. මේ තත්ත්වය යටතේ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීම නිරීක්ෂණය වෙන්නේ නෑ. ඒ පිළිබඳව කෙසේ නමුත් මේ දිනවල සාමාන්‍ය ස්වභාවය, වර්ෂාපතනය ලැබීමේ ස්වභාවය, ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න කියන කාරුණික ඉල්ලීම කරනවා."