අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාරය අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසනවා.

දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව  1,206,000ක් පමණ වන බැවින්, ලක්ෂ 14ක පිරිසකගේ ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන වාර්තා ප්‍රායෝගිකව පවා සිදු විය නොහැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් මේ වනවිට සිදු කෙරෙන සමාලෝචනයට අනුව, පළමු අදියර සඳහා තේරී පත් වූ ප්‍රතිලාභීන්  991,000කගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පළමු අදියර යටතේ දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව  989,000ක් පමණ වන බැවින්, නව සමාලෝචනයට අනුව ප්‍රතිලාභීන් 2,000ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 215,000ක් පමණ සිටින අතර, එම අදියරේ සමාලෝචනය ලබන වසරේදී සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව, එම සමාලෝචනය සිදු කරන තෙක් දැනට සිටින ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවෙහි වෙනසක් සිදු නොකර අස්වැසුම ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියා.

එමෙන්ම පළමු අදියර යටතේ තවත් ප්‍රතිලාභීන් 740,000ක පමණ පිරිසක් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව අඩු වීමක් නොව, වැඩි වීමක් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

එබැවින්, අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටෙන ලෙසයි අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.