කොළඹ නගරය වැසි ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම සදහා අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් ආරම්භ වූ බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අදාළ සාකච්ඡාව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලි බර්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.
කොළඹ මහ නගර සභාවේ පැවැත්වෙන එම සාකච්ඡාව සදහා එම විෂයට අදාළ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් මෙන්ම ත්‍රිවිධ හමුදා ඉහළ නිලධාරීන් ද සහභාගී වී සිටිනවා.
ඊයේ පස්වරුවේ ඇදහැළුණු මහ වැසි හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසකම මාර්ග ජලයෙන් යට වුණා.
ඒ අනුව සෑම මාර්ගයකම පාහේ රථ වාහන තදබදයක් ද දක්නට ලැබුණා.
එමෙන්ම කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ ඇතැම් ස්ථානද ජලයෙන් යට වුණා.
මහවැසි හමුවේ කොළඹ ඇතැම් මාර්ග ජලයෙන් යටවන්නේ වසර ගණනාවක සිටයි.
ඊට ස්ථිර විසදුමක් ලබාදීමට තවමත් නොහැකි වී ඇත්තේ මන්දැයි නෙත් නිවුස් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගෙන් ද ප්‍රශ්න කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.
කොළඹ නගරය පාලනය වන්නේ කොළඹ මහ නගර සභාවෙන්.
කෙසේවෙතත් නිශ්චිත යාන්ත්‍රණයක් යටතේ මධ්‍යම රජයේද සහාය ලබාගනිමින් මෙලෙස කොළඹ නගරය වැසි ජලයෙන් යටවීම වළක්වා ගැනීම සදහා අද පැවැත්වෙන මෙම විශේෂ සාකච්ඡාවේදි වැඩි අවධානයක් යොමු වනු ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
මේ අතර ඊයේ පස්වරුවේ වැඩිම වර්ෂාපතනය කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවටින් වාර්තා වී තිබෙනවා.
ඒ, මිලිමීටර් 130 ක වර්ෂාපතනයක්. ඊට අමතරව මට්ටක්කුලිය ප්‍රදේශයෙන් මිලිමීටර් 125 යි දශම 5 ක් සහ මතුගම ප්‍රදේශයෙන් මිලිමීටර් 95 ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.
ඊයේ පස්වරුවේ පැවති වැසි තත්ත්වය ඉදිරි දිනවලදීද අපේක්ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පැවසුවේ.
''අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයේදී ඉතාම කෙටි කාලයකදී සීමිත ප්‍රදේශයකට වැසි ඇතිවීම බොහොම සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් මේ වගේ තත්ත්ව සාමාන්‍යයෙන් මේ අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයේදී බලාපොරොත්තු වෙන්න වෙනවා.''
ඒ අනුව අද දිනයේද පස්වරු එකෙන් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
''ඒ අතරිනුත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවෙයි කියලත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල මේ තියෙන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයත් එක්ක ගිගුරුම් සහිත වැසිත් එක්ක ඇතිවෙන තාවකාලික තද සුළං සහ අකුණු වලින් සිදුවන අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න ඕනේ. විශේෂයෙන්ම එළිමහනේ රැඳී සිටීම, විවෘත වාහන වල ගමන් කිරීම, ඒ වගේම ක්‍රීඩා පිටි, තණබිම්, කුඹුරු වගේ ස්ථානවල රැඳී සිටීම, ඒ වගේ දේවල් වලින් අනතුරු ඇතිවීමේ හැකියාව ඉතාම ඉහළයි. ඒ නිසා ආරක්ෂිත ස්ථාන වලට ගිහිල්ලා ආරක්ෂිතව කටයුතු කරන්න කියලා තමයි මතක් කරන්නේ''




