අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයන් ගණන 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් 10 දෙනෙකුම මියගොස් ඇත්තේ එම වැඩිහිටි නිවාසය තුළදී බවයි එම ස්ථානයේ මේ වනවිටත් රැදී සිටින නෙත් නිවුස් වාර්තාකරු චන්දන පෙරේරා පැවසුවේ.

මියගිය අනෙක් පුද්ගලයා හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස මියගොස් තිබෙනවා.

තුවාල ලැබූ හත්දෙනෙකු තවදුරටත් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම වැඩිහිටි නිවාසයේ ගින්නට හසුව සිටි 51ක් දෙනෙකු මුදාගැණුනු අතර ඔවුන් මේ වනවිට බටගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපිත කෙරුණු තාවකාලික රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටිනවා.

පෙරවරු නවයට පමණ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එතෙක් එම ස්ථානයට පොලිස් ආරක්‍ෂාව යොදා ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම වැඩිහිටි නිවාසයේ ගින්න හටගෙන තිබුණේ ඊයේ පස්වරු 5.25 ට පමණයි.

වහා ක්‍රියාත්මක වූ ගිනි නිවීම් භටයින්, පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා එම ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමුණා.