බෙල්ලන්විල ඊයේ කෙරුණු වෙඩිතැබීම සඳහා වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය පොලිස් විමර්ශනවලදී සොයාගෙන තිබෙනවා.
රනාල ප්රදේශයේ කෙරුණු රථවාහන පරීක්ෂාවකදීයි විමර්ශකයන් විසින් මෙම යතුරුපැදිය සොයාගෙන ඇත්තේ.
වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩික්කරු සහ ඔහු රැගෙන ආ යතුරුපැදියේ පැදිකරු බවටයි පොලිසිය සැක කරන්නේ.
වෙඩික්කරු බවට සැක කරන පුද්ගලයා කලක් යුද හමුදාවේ සේවය කර ඉන් පලා අයෙක්.
ඔහුගෙන් සහ ඔහු සමග අත්අඩංගුවට ගැනුණු පැදිකරුගෙන් මේ වනවිට වැඩිදුර ප්රශ්න කිරීම් සිදු කෙරෙනවා.
වෙඩි තැබීම සුදු කෙරුණේ ඊයේ රාත්රී 7.45ට පමණයි. බෙල්ලන්විල ඇවිදින මන්තීරුවට පිවිසෙන ස්ථානයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයකු ඉලක්ක කර වෙඩිතැබීම සිදුවුණා.
මෙලෙස වෙඩි තැබීමට ඉලක්ක වූයේ අවන්හලේ හිමිකරු වන අතර ඔහු 55 වන වියේ පසු වූවෙක්. වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මිය ගියා.
මූලික තොරතුරු වලින් අනාවරණ වූයේ මෙලෙස මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්රකට කොස් මල්ලි නැමැත්තාගේ දුරින් ඥාතියකු බවයි.
කොස් මල්ලි නැමැත්තාට රිදවීම සඳහා ඔහුගේ ප්රතිවාදීන් වන බඩෝවිට අසංක සහ සැන්ඩෝ යන අය විසින් වෙඩි තැබීම මෙහෙයවා ඇතැයි සැක කෙරෙනවා.
කෙසේ වෙතත් වෙඩි තැබීම සඳහා යොදාගත් බව කියන ගිනි අවිය තවමත් සොයාගෙන නැහැ. ඒ අතුළු සාක්ෂි රැස් කිරීම සඳහා විමර්ශන තවදුරටත් සිදුවනවා.




