විදෙස් රටක ණය ගෙවීමකට අදාළ මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරුන් අතට පත් වී ඇතැයි කියන සිද්ධියට අදාළ සාක්‍ෂි ඇතැම් පාර්ශව විසින් වසන් කර ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසනවා.

එම සංවිධානය වෙනුවෙන් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා මාධ්‍ය හමුවක් කැදවමින් මෙම අදහස් පළ කළා.

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරුන් අතට පත්වී ඇතැයි බවට පළමුව වාර්තා පළවීමත් සමග මුදල් අමාත්‍යාංශය සදහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට නීතිය ක්‍රියාත්මක කරන පාර්ශවලට දැනුම් දුන් බවයි.

ඒ අනුව ඊට අදාළව ඇතැම් නිලධාරීන්ට එරෙහිව මේ වනවිටත් විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද මුදල් අමාත්‍යාංශය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ඉතා පුළුල් විමර්ශන සිදුකරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.