දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ එගොඩ හේවගේ ඉන්දික ප්‍රසාද් නොහොත් 'ලාරා' නැමැත්තාට අයත් රුපියල් කෝටි 6කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ කිහිපයක් දින 14ක කාලයකට ක්‍රියා විරහිත කර තිබෙනවා.

​නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදලින් මිලදී ගන්නා ලද තංගල්ල නගර සීමාවේ සුසාන භූමිය පාරේ පිහිටි පර්චස් 18ක ඉඩම සහ එහි තනා ඇති සුඛෝපභෝගී තෙමහල් නිවස, තංගල්ල නගර සභාවේ දංකැටිය ග්‍රාම නිලධාරී වසමේ පර්චස් 9.57ක ඉඩම සහ එහි ඉදිකරන ලද දෙමහල් කබානා ගොඩනැගිල්ල මෙලෙස තහනමට ලක් කර ඇති බවයි.

​එමෙන්ම තංගල්ල ප්‍රාදේශීය සභා බල සීමාවේ පොළොන්මාරුව ගමේ පිහිටි පර්චස් 19ක ඉඩම සහ එහි ඉදිකරන ලද කබානා ගොඩනැගිල්ල මෙන්ම, තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වල්ගම්පිටිය ග්‍රාම නිලධාරී වසමේ වල්ගම්එළිය ගමේ පිහිටි පර්චස් 37.25ක ඉඩම ද මෙලෙස ක්‍රියා විරහිත කිරීමේ නියෝගයට ඇතුළත්.
​පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් යොමු කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනවලින් පසුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සහකාර අධ්‍යක්ෂ (2) සහකාර පොලිස් අධිකාරී ජනක පියදර්ශන විතානගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

​තංගල්ල දංකැටිය පාරේ පදිංචි අත්අඩංගුවට ගත් මෙම සැකකරු, දකුණු පළාතේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත 'බතල හීන් මහත්තයා' නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන අතර ඔහු වැඩි වශයෙන් ගංජා ජාවාරම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

​මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට සහ නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න යන නිලධාරීන්ගේ උපදෙස් මත, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ඩබ්ලිව්. වික්‍රමසේකර මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.