හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
2008 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 05ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු වෙලේ සුදා නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් 2015 වසරේ ඔක්තෝබර් මස 14 වනදා මරණීය දණ්ඩනය නියම කර තිබුණා.
එම දඩුවම නියම කරන ලද්දේ එවක මහාධිකරණ විනිසුරු වශයෙන් කටයුතු කළ වත්මන් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින්.
එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වෙලේ සුදා විසින් මුලින්ම අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර එම ඇපෑල අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබුණා.
ඒ අනුව එම මහාධිකරණ සහ අභියාචනාධිකරණ තීන්දු ඉවත් කර තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වෙලේ සුදා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළා.
එම ඇපෑල ශ්‍රේෂ්ඨධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචක විත්තිකාර වෙලේ සුදා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා කරුණු ඉදිරිපත් කළා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය එම අභියාචනයට එරෙහිව කරුණු ඉදිරිපත් කළා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දීම ප්‍රතික්ෂේප කරමින් එය නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළා.
ඒ අනුව වෙලේ සුදාට එරෙහිව මහාධිකරණය විසින් පැනවූ මරණීය දණ්ඩනය තහවුරු කිරීමට නියෝග කෙරුණා.




