ශ්‍රී ලංකාවේ පහළ වායු ගෝගලයේ හටගෙන ඇති කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ පළාත් කිහිපයකම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තදවැසි අපේක්ෂා කළහැකි බවයි.

වැසි සමඟ අකුණු සහ තද සුළං ඇතිවීමේ අවදානමක්ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ඊයේ පස්වරුවේ සිට ඇදැහැලුන අධික වැසි හේතුවෙන් ගාල්ල, අලුත්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතැම් මාර්ග ද ජලයෙන් යටවුණා.

කෙසේ වෙතත් දිවයිනේ පිහිටි ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 45 කට ආසන්න අගයක් දක්වා පහත බැස තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරන අධ්‍යක්‍ෂ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා සඳහන් කළේ මෙම ජල ප්‍රමාණයන් කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් වන බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඇතැම් ජලාශවලින් පානිය ජල පහසුකම්ද ලබා දෙන බැවින් එවැනි ජලාශවල ජලය වගා කටයුතු සඳහා නිකුත් නොකරන බවයි එච් එම් පී ඩී හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේ.