මෙට්‍රෝ බස් රථවලට හානිකරන හෝ අවහිර කරන තැනැත්තන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිය තදින් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ මෙට්‍රෝ බස් රථවලට ඇතැම් පිරිස් හානි කරන සහ අවහිර කරන බවට දිගින් දිගටම ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කළ විමසිමකදීයි.
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයෙහි ගුණාත්මකභාවය උසස් කිරිමේ අරමුණින් මෙට්‍රෝ බස් රථ සේවය හදුන්වා දුන්නා.
ඒ යටතේ අලුතින් ධාවනයට යෙද වූ මෙට්‍රෝ බස් රථවලට ඇතැම් ප්‍රදේශවලදී හානි කිරීම් සහ අවහිර කිරීම් සිදුව ඇති බවයි නෙත් නිවුස් ඉකුත්දා අනාවරණ කළේ.
මෙම අනාවරණයෙන් පසු මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ඒ පිළිබද ප්‍රශ්න කළා.
මාධ්‍යවේදියා : "මෙට්‍රෝ බස් වලට හරි හිරිහැර කරන එක වැඩි වෙලා තියෙනවා නේද? පෞද්ගලික බස් අප්පනවා, පාර බ්ලොක් කරනවා... තත්ත්වය ටිකක් දරුණු තත්ත්වයක තියෙන්නේ නේද? ඔබතුමාට මේ ගැන අදහසක් තියෙනවද? මොකද මගීන්ගේ පැත්තෙන් තව ටික දවසක් යද්දී මේ ගුටි කන්න වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ ප්‍රයිවේට් බස් වලට."
අමාත්‍ය බිමල් රත්නායක මහතා : "කරන්නෙ පොදු දේපල හානි කිරීම. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ ඒවා කරන රියදුරු මහත්වරු හරි හිමිකරුවෝ හරි මම හිතන්නේ බරපතල නඩුවලට මුහුණ දෙන්න වෙයි ලංකාවේ ජනතාවගේ පොදු දේපල හානි කරලා. නමුත් මම කියන්න ඕනා මෙට්‍රෝ බස් 150ක් වැඩ කරනවා, 700ක් විතර... ඒකට පෞද්ගලික බස් රථ වලින් අතිවිශාල ප්‍රමාණයකින් කිසිම කරදරයක් කරලා නැහැ. ඉතාම සුළු බස් කීපයකින් තමයි... ඒ නිසා මම කියන්නේ නැහැ මේක පෞද්ගලික බස් හිමියන්ගේ ප්‍රශ්නයක් කියලා. මම හිතන්නේ වෙන කොතනත් තියෙනවනේ ටිකක් නේද? ඉතින් මම කියන්නේ අපරාදේ නිකන් පොදු දේපල හානි කරලා ලොකු අමාරුවෙ වැටෙන්නෙ නැතුව මේක රට පිළිඅරගත්ත දෙයක්, මේකට අනුව යන්න. මේකට අනුව හැඩගැහෙන්න. මොකද අපි කොහොමත් අවුරුද්දක් ඇතුලතදී පෞද්ගලික අංශයට විවෘත කරනවා මෙට්‍රෝ සේවාව."
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
"මේක මේ කීප දෙනෙක් විසින් සංවිධානාත්මක කුමන්ත්‍රණකාරීව මෙම ක්‍රියාව සිදු කරන බවට අපිට මේ දාමය තුළ අපිට පොලීසිය හැටියට නිරීක්ෂණය වෙන කාරණාවක්. විශේෂයෙන්ම කියනවා නම් මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා පැහැදිලිවම උපදෙස් දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන්න කියලා. ඒ වගේම මේවා රාජ්‍ය දේපල. එතකොට මේ රාජ්‍ය දේපල වලට තමයි මේ අලාභහානිය සිදු කරන්නේ. එතකොට පොදු දේපල විශාලාඥා පනත යටතේ වරදක් සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අලාභ තක්සේරු කරලා, ඒ සම්බන්ධයෙනුත් පූර්ණ විමර්ශනයක් කරන්න සහ ඒ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා විශේෂයෙන්ම පොලිස්පතිතුමාගේ ඍජු මැදිහත්වීම යටතේ දැන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ කරනවා. මේක ඉතා බරපතල තත්ත්වයක්. මේක දිගින් දිගටම මේක වෙන්න දෙන්න බෑ. පොලීසිය විශේෂයෙන්ම අපරාධ නීතිය සහ ඊට ආනුෂංගිකව නීතිය යටතේ සහ මෝටර් වාහන පනතේ තියෙන නීතිමය තත්ත්වයන් යටතේ මේ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නවා. විශේෂයෙන්ම පොලිස්පතිතුමා මේ බස් රථ ගමන් ගන්නා මාර්ගවල, ඒ කියන්නේ බස් රූට්ස් 7 යටතේ අයත් ඒ මාර්ගවල ගමන් ගන්නා මාර්ගවල ස්ථානාධිපතිවරුන්ට සහ දිස්ත්‍රික් භාර නිලධාරීන්ට, කොට්ඨාස භාර නිලධාරීන්ට විශේෂයෙන්ම මාර්ග උපදෙස් මාලාවක් දැන් නිකුත් කරන්න සූදානම් කරලා තියෙනවා. මේ මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්න, සහ රථවාහන පාරී නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව ඉන්න, සහ මාර්ග බාධක වලින් දාලා සුපරීක්ෂාකාරීව ඉන්න, සහ මේ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගන්න, මේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිද්ධ කරනවා නම්, මේ පොදු ප්‍රවාහන සේවය අඩාල කරන්න යම්කිසි කණ්ඩායමක් විසින් සැලසුම් සහගතව මේ කුමන්ත්රණකාරී ක්‍රියාවක් සිද්ධ කරනවා නම්, ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කටයුතු කරනවා."




