දුප්පතුන් කොන් කර පොහොසතුන්ට තැන ලබාදෙන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
2027 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පළමු දිනය වන අද එම විවාදය ආරම්භ කරමින් විපක්ෂ නායකවරයා මේ බව කියාසිටියා.
"ඔබතුමාට මතක් කරන්න කැමතියි ඒ ඔරිජිනල් (original) ජේ.වී.පී (JVP) අයවැය යූ.පී.එෆ්.ඒ (UPFA) එකත් එක්ක කරපු. මොනවද කිව්වේ? ලෝක බැංකුවට ගහලා තියෙන ප්ලග් එක ගලවනවා කිව්වා නේද? කිව්වා නේද? එතකොට අයි.එම්.එෆ් (IMF) එකේ ප්‍රධාන මූලස්ථාන ඉවත් කරනවා කිව්වා නේද? සූර සරදියෙල් අයවැයක් ලබා දෙනවායි කිව්වා නේද? දැන් මේ අවස්ථාවේ මම මතක් කර දෙන්නට ඕන වර්තමාන රජයට, දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජේ.වී.පී (JVP) එක ජනාධිපතිකමත් අරගෙන, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකත් අරගෙන, පළාත් පාලන ආයතන බහුතරයක බලය අරගෙන, දැන් ඔයගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා අර හොඳ බොක්සින් (boxing) අයවැයක්, මොහොමඩ් අලි අයවැයක්. බඩට ගහන අයවැයක්. පොඩි මිනිහගේ බඩට ගහලා, දුප්පතුන් කොන් කරලා, පෝසතුන්ට තැන ලබා දෙන අයවැයක්. මම ඒ තර්කය කරුණු කාරණා සාක්ෂි සහිතව ඔප්පු කරන්න සූදානම්. මම අහන්න කැමතියි බිමල් රත්නායක මැතිතුමාගෙන්, මේ 'පොහොසත් රටයි ලස්සන ජීවිතයයි' මේ 2027 අයවැය පොඩ්ඩක් සංසන්දනය කරන්නකෝ. පොඩ්ඩක් සංසන්දනය කරන්න."
ජනතා විමුක්ති පෙරමුණ මාක්ස් වාදයෙන් පිට පැන නව ලිබරල්වාදයේ කප්පිත්න් බවට පත්ව ඇතැයිද විපක්ෂ නායකවරයා මෙහිදී කියාසිටියා.
"දැන් ඔබතුමන්ලා බලයට පත් වෙන්නට මොකක්ද කරපු රඟපෑම? අර පහුගිය දවසකත් අර නියෝජ්‍ය ඇමතිවරයෙක් බොහොම ලස්සන, ඒක නිකන් හත්වැනි මණ්ඩලයේ නෙමෙයි ඒක සුපිරිම රඟපෑමක්, හරි. දැන් මේ බලය ගන්න මොකක්ද කිව්වේ? මොකක්ද කිව්වේ? මොකක්ද ගහපු චිත්‍රපටය? 'දුප්පතාගේ හිතවතා'. දුප්පතාගේ හිතවතා කියලා රඟපාලා, නැටුම් ගැයුම් වැයුම් කරලා, ගොයම් කාලා, මේ හැමදේම කරලා, ජනාධිපතිකම ගත්තා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගත්තා, පළාත් පාලන බලය ගත්තා. හැබැයි බලය ගත්තට පස්සේ දැන් චිත්‍රපටය වෙනස්. දැන් චිත්‍රපටය 'කඩවුණු පොරොන්දුව'.දැන් 'කඩවුණු පොරොන්දුවේ' අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිර රචනය, කැමරාකරණය ඒ ඔක්කොම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ, අපේ අගමැතිතුමිය පොඩ්ඩක් අහක බලන් ඉන්නවා එතුමිය ප්රමුඛ වර්තමාන තුනෙන් දෙකේ ආණ්ඩුව. දැන් මොකක්ද වෙලා තියෙන්නේ ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ? ඉස්සෙල්ලම ගෙනාවා වෝට් ඔන් අකවුන්ට් (Vote on Account) එකක්, අතුරු අයවැය. ඊට පස්සේ ගෙනාවා 2025 අයවැය. ඒ අයවැය ගෙනැල්ලා මොකක්ද කිව්වේ? 'අපෝ ඉපදුණු හැටියෙම ඇවිදින්න බැහැයි' කියලා කිව්වා, 'පොඩ්ඩක් කල් ඕනේ' කිව්වා. ඊට පස්සේ 2026 අයවැය. 'තාම ඉපදිලා මේ බඩගානවා විතරයි, තාම පුරුදු වෙනවයි' කියලා කිව්වා. එතකොට මේ කවුද මේ කියන්නේ? මේ ජේ.වී.පී (JVP) දරුවා. එතකොට මේ තුන්වෙනි අයවැය, 2027 අයවැය, මේකේ කතෘත්වයයි, පීතෘත්වයයි භාර අරගෙන ඔබ මාක්ස්වාදයෙන් පිට පැනලා නව ලිබරල්වාදයේ (Neo-liberalism) කප්පිත්තෝ බවට පත්වෙලා තිබෙනවා, කැප්ටන්ලා (Captains) බවට පත්වෙලා තිබෙනවා, සුපිරි කැප්ටන්ලා බවට පත්වෙලා තිබෙනවා."
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පළමුව විවාදය ආරම්භ කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියයි.
"මේ වතාවේ මේ වර්ෂයේ අයවැය ඉදිරිපත් වෙනකොට විපක්ෂයේ ප්රවේශයේ අපි සුවිශේෂී වෙනසක් දකිනවා. ඒ සුවිශේෂී වෙනස තමයි ගරු හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමනි, අපි සාමාන්‍යයෙන් සූදානම් වෙලා ඉන්නේ පිළිතුරු කතා අයවැය කතාවේ පළවෙනි කතාව කරන්නේ ඔබ. මට මතක විදියට මම 2020 පාර්ලිමේන්තුවේ ඉන්න කාලයේ සිටම පළමු කතාව කළේ ඔබතුමා. ඒකට ඇහුම්කන් දෙන්න සූදානමින් තමයි අපි සියලු දෙනාම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්නකොටත්, ආණ්ඩු පක්ෂයේ ඉන්නකොටත් අපි සූදානම් වෙලා ඉන්නේ. අද වෙනසක් අපි දකිනවා. ඒ වෙනස ගැනත් අපි සතුටු වෙනවා ගරු කථානායකතුමනි, නමුත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාගේ කතාව අහන්නත් අපි ආසාවෙන් ඉන්නවා. මොකෝ එතකොට අපිට බලාගන්න පුළුවන් වෙනවා සජබේ න්‍යායේ වෙනසක් තියෙනවද නැද්ද එහෙම නැත්නම් මේ එකම ප්‍රතිපත්තිය තුළද ඉන්නේ කියන එකත් අපිට බලාගන්න පුළුවන් වෙනවා ගරු කථානායකතුමනි. මොකෝ අපේ ගරු විපක්ෂ නායකතුමා විශාල කතාවක් නිර්මාණය කරගෙන ගියා ආර්ථික න්‍යාය පිළිබඳව, ආර්ථිකය පිළිබඳ ප්‍රවේශය, අයි.එම්.එෆ් (IMF), වර්ල්ඩ් බෑන්ක් (World Bank) මේ සියල්ල පිළිබඳව. ඉතින් මේ ස්ථාවරයේමද සියලු දෙනාම ඉන්නේ කියන එක ගැන අපි ඉතාමත්ම කුතුහලයෙන් බලාගෙන ඉන්නවා ඉතිරි දවස් කීපය තුළ මේක කතාව නිර්මාණය වෙන විදියත් එක්ක."




