ඉදිරියේදී පැවැත්වෙන ලෝක මට්ටමේ තරගවලදි ශ්‍රී ලංකාවට ජයග්‍රහණ අත්කර දීම සිය ප්‍රමුඛ අරමුණ බව ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පවසනවා.
ඉතාලියේ රෝම නගරයේ පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක දුරක් හෙල්ල විසි කරමින් එම තරගය ජය ගැනීමෙන් පසු ඔහු මේ බව කියා සිටියා.
එහිදී රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව නැවත අලුත් කිරීමට සමත් වු අතර තවත් වාර්තා ගණනාවක්ද පිහිටුවීමට සමත් වුණේ ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක බලාපොරොත්තු තවදුරටත් නංවාලමින්.
මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රයට අලුත් බලාපොරොත්තුවක් එක් කළ රුමේෂ් තරංග පිළිබද නෙත් නිවුස් තබන සටහනක් පහතින්.
2003 වසරේ මාර්තු මස 21 වනදා රුමේෂ් තරංග උපත ලබන්නේ කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයේයි.
හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපන ලැබූ රුමේෂ් තරංග 2012 වසරේදී පළමුව යොමු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවටයි.
වේග පන්දු යවන්නෙකු ලෙස කැපී පෙනුනු ඔහු නව යොවුන් වියේදීම පැයට කිලෝමීටර් 134ක පමණ වේගයකින් පන්දු යැවීමට සමත් වනවා.
2017 වසර වනවිට ඔහු විසි කිරීමේ ඉසව් සදහා යොමු වන්නේ සිය පියාගේ මඟපෙන්වීම මතයි.
එතැන් සිට සීග්‍රයෙන් හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දක්‍ෂතා පෙන්වූ ඔහු අවස්ථා කිහිපයකදීම පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරමින් ශ්‍රී ලංකාවට අනාගතයේ ලෝක මට්ටමේ ජයග්‍රහණ දිනා දිය හැකි ක්‍රීඩකයෙකු බව සිය දක්‍ෂතා තුළින් පෙන්වා දෙනවා.
2022 වසරේ කොළොම්බියාවේ පැවති වයස අවුරුදු 20න් පහළ ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 69 යි දශම 9යි 8ක දක්‍ෂතාවක් වාර්තා කරමින් එම ඉසව්වේ 7 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.
2025 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු ශූරතාවලියේදී මීටර් 83යි දශම 3යි 7ක දක්‍ෂතාවක් දක්වමින් සිව්වන ස්ථානය දිනාගැනීමට ද රුමේෂ් තරංග සමත් වනවා.
2025 වසරේ ඉන්දියාවේ පැවති තරගාවලියකදී මීටර් 86 යි දශම 5යි බින්දුවක දක්‍ෂතාවක් දක්වමින් සුමේධ රණසිංහ විසින් පිහිටුවා තිබූ හෙල්ල විසි කිරීමේ ජාතික වාර්තාව බිද දැමූ ඔහු එතැන් සිට ක්‍රමිකව සිය දක්‍ෂතා වර්ධනය කර ගැනීමට සමත් වුණා.
ඊයේ රෝම නගරයේ පැවති ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ සිව් වන අදියරේදී මීටර් 92යි දශම 6 යි දෙකක දුරක් විසි කරමින් ඔහු දැක්වූ දක්‍ෂතාව 2024 ඔලිම්පික් උළලෙන් පසු ලෝකයේ ඕනෑම ක්‍රිඩකයෙකු එම ඉසව්වේ වාර්තා කළ ඉහළම දක්‍ෂතාව ලෙස වාර්තා අතරට එක්ව තිබෙනවා.
එමෙන්ම ලෝක මළල ක්‍රීඩා ඉතිහාසයේ අට වන හොදම හෙල්ල විසි කිරීම ලෙස රුමේෂ් තරංගගේ මෙම දක්‍ෂතාව වාර්තා අතරට එක් වූ අතර ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ දෙවන හොදම හෙල්ල විසි කිරීමද මෙය වනවා.
ඒ අනුව ඉදිරියේදි පැවැත්වීමට නියමිත ලෝක මට්ටමේ තරගවලදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඔහු ශ්‍රී ලංකාවට පදක්කම් රැසක් දිනාදෙනු ඇති බවටයි ක්‍රීඩා විචාරකයින් මත පළ කරන්නේ.




