සේවා කාලය අවසන් කර නැවත දිවයිනට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා, ව්‍යාපෘති සේවාවන්ද සහිතව ඌණ උපයෝජිත ඉඩම් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය සහ ඉදිරි අයවැය යෝජනා පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී රජයෙන් ලබා දෙන ඉඩම් සම්බන්ධයෙන් ශක්තිමත් ගිවිසුම් ඇති කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ සොයා බැලීමට මුදල් අමාත්‍යාංශය හරහා විශේෂ කමිටුවක් පත් කිරීමටද තීරණය කළා.

එමෙන්ම, මලෛගම් ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිසි කාලය තුළ අවසන් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, විදේශ ආධාර සහ ණය යෝජනා ක්‍රමවල පවතින ගැටලු හේතුවෙන් ඇතැම් ප්‍රතිපාදන ආපසු යෑම වැළැක්වීමට කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කරන ලෙසද අවධාරණය කළා.

මේ අතර ඇල්කඩුව, කුරුණෑගල සහ හලාවත වැවිලි සමාගම් ඇතුළු රාජ්‍ය වැවිලි සමාගම් 06ක්ම පසුගිය වසරට සාපේක්ෂව වේගයෙන් තමන්ගේ ලාභය ඉහළ නංවාගෙන ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වුණා.

තවද, මෙරට වාර්ෂික කජු අවශ්‍යතාවයෙන් මෙට්‍රික් ටොන් 18,000ක ප්‍රමාණයක් මේ වසරේදී සපුරා ගැනීමට හැකිවනු ඇති අතර, උතුරු සහ නැගෙනහිර පළාත්වල හෙක්ටයාර් 15,000ක කජු වගා කිරීමේ විභවතාවක් පවතින බවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.