ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හැඳින්වීම වැරදි බවත් එම හැඳින්වීම වෙනස් කළ යුතු බවත් පවසමින් කිසියම් පුද්ගලයකු ඉකුත්දා සමාජ මාධ්‍යයේ පළ කළ අදහසක් මේ වන විට ආන්දෝලනයට ලක්ව තිබෙනවා.
එසේ තිබියදී ආන්දෝලනයට ලක් වූ මෙම ප්‍රකාශය පිළිබඳව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ද ප්‍රතිචාර දක්වා ඇති අතර ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට කරන ප්‍රකාශය කිසිසේත් අනුමත නොකරන බවයි.
ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බවත් එම බෞද්ධ උරුමයට තමන්ද ගරු කරන බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අවධාරණය කරනවා.
ඔහු මේ බව පවසන්නේ සිය නිල ෆෙස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින්.
උපුටා ගැනීම......
"රත්නදීප ජන්ම භූමි යන පදය ඇසෙන විට මගේ සිතට නැගෙන්නේ මා උපන්, මගේ දරුවන් උපන්, අප කවුරුත් ආදරය කරන මේ රටයි. වෙනත් ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට මෙන්ම මේ රටේ මුස්ලිම් ජනතාවටත් ශ්‍රී ලංකාව අපේ මව්බිමයි යැයි එකම අභිමානයෙන් කියන්නට සම්පූර්ණ අයිතියක් ඇත. ඒ අයිතියට කිසිවෙකුගේ අවසරයක් අවශ්‍ය නැත.
ශ්‍රී ලාංකික මුස්ලිම්වරයෙකු ලෙස මම මේ රටේ බෞද්ධ උරුමයට හදවතින්ම ගරු කරමි. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හැඳින්වීම ගැන උරණ වීමට අපට කිසිදු හේතුවක් නැත. වසර 2000කට අධික කාලයක් පුරා බුදු දහමින් පෝෂණය වූ මේ රටේ සංස්කෘතික උරුමයේ කොටස්කරුවෙකු වීම මටත් අභිමානයකි. ඒ උරුමයට ගරු කිරීමටත්, මේ මව්බිමට මගේ ඇති අයිතිය ගැන අභිමානයෙන් කතා කිරීමටත් මට එක සේ ස්වභාවිකය.
මේ ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශය කළ තැනැත්තාට මම මෙය කෙළින්ම කියමි. ඔබට ඔබේ මතය පළ කිරීමට අයිතියක් ඇත. ඔබ තෝරාගත් වචනවල වගකීමද ඔබ සතුය. තම ආගමට ගෞරවය අපේක්ෂා කරන කෙනෙකු, අන් අය පූජනීය කොට සලකන දේටද ඒ ගෞරවයම දැක්විය යුතුය. ඔබ කළ අගෞරවනීය ප්‍රකාශය මම තරයේ හෙළා දකිමි. ඔබ කතා කළේ ඔබ වෙනුවෙනි. මා වෙනුවෙන් හෝ මේ රටේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් හෝ කතා කිරීමට ඔබට වරමක් නැත. ඔබේ වචනවලින් සිත් රිදුණු අයගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමට තරම් නිහතමානී වන්න. මගේ ආගමේ නාමයෙන් මගේම රටවැසියන්ට අගෞරව කරන්නට කිසිවෙකු සිතන්නේ නම් මගේ පිළිතුර පැහැදිලිය; මගේ නමින් නම් නොවේ.
මට නම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හරය වඩාත් පැහැදිලි වන්නේ එහි 9, 10 සහ 12 වැනි ව්‍යවස්ථා එකට කියවන විටය. නව වැනි ව්‍යවස්ථාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමා බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජයට පවරයි. ඒ වාක්‍යය තුළම සියලු ආගම්වල ආගමික නිදහසද සහතික කරයි. දස වැනි ව්‍යවස්ථාව සෑම අයෙකුගේම සිතීමේ, හෘදය සාක්ෂියේ සහ ආගමික නිදහස සුරකී. දොළොස් වැනි ව්‍යවස්ථාව නීතිය ඉදිරියේ සමානාත්මතාවත්, නීතියේ සමාන රැකවරණයත් සහතික කරයි. මේ සමබරතාව රැකෙන්නේ එම වගන්තිවල අරුත අපි එකිනෙකාට සලකන ආකාරයෙන්ද පෙනෙන විටය.
මේ ප්‍රකාශයෙන් සිත් රිදුණු මගේ බෞද්ධ සහෝදර සහෝදරියනි, ඔබේ හැඟීම් මට වැටහේ. ඔබෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ එක දෙයකි. එක් අයෙකුගේ වචන මුළු මුස්ලිම් ප්‍රජාවටම පහර දීමට හේතුවක් කරගන්න එපා. ඔබේ මඟුලටත්, අවමඟුලටත් පැමිණ කරදරයකදී ඔබ ළඟින් සිටි මුස්ලිම් අසල්වැසියා ගැන මොහොතක් සිතන්න. ඔබ දෙදෙනාම නොහඳුනන කෙනෙකුගේ වචනවලට වසර ගණනක් තිස්සේ ඔබ අතර ගොඩනැගුණු ඒ බැඳීම පළුදු කරන්නට ඉඩ දෙන්නේ ඇයි? දැන් ඇති; බෙදී වෙන්වීම් නිසා මේ රට ගෙවා ඇති මිල හොඳටම ඇති. අපේ දරුවන් එකට ජීවත් වන්නට ඉගෙන ගන්නේ අද අපි එකිනෙකාට සලකන හැටි දැකීමෙනි. මගේ දරුවෙකුටත්, ඔබේ දරුවෙකුටත් එක ළඟ සිට 'රත්නදීප ජන්ම භූමි' යැයි ගයන විට, තමන්ට මේ රට කෙතරම් අයිතිදැයි මොහොතකටවත් සැකයක් ඇති නොවේවා. මේ අප සැමගේ මව්බිමයි."
උපුටා ගැනීම අවසන්......




