සංවිධානාත්මක අපරාධකරුවෙකු සඳහා අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියකට අදාළව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්. අදාළ නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේදීයි.

42 හැවිරිදි වියේ පසු වන ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර විදේශගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුර කුඩු සළිඳු නැමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ රත්මලාන ගුවන් තොටුපොළ හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව එම සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදීයි.

සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 63 කට අධික මුදලක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 කට වැඩි ප්‍රමාණයක්, ස්කූටර් වර්ගයේ යතුරුපැදියක්, නවීන පන්නයේ මුදල් ගණින යන්ත්‍රයක් සහ විද්්‍යුත් තරාදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය බෙදාහරිමින් මුදල් එකතු කිරීමේ නිරත වීම වෙනුවෙන් කුඩු සළිඳු විසින් ඔවුන්ට රුපියල් එක්ලක්ෂ පනස්දහසක මාසික වැටුපක් ගෙවා ඇති බවයි.

අවුරුදු 34 සහ 26 යන වයස්වල පසුවන මෙම සැකකාර අඹුසැමි යුවළ රැඳවුම් නියෝග මත තබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලීසිය පැවසුවේ.