හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි ''සෙනෙහසේ කැදැල්ල'' වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයන් 06 දෙනෙකු තවදුරටත් හොරණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය, හොරණ මහෙස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මිය විසින් අද පෙරවරුවේදී එම වැඩිහිටි නිවාසයේදී සිදු කළා.

ගින්නට හසුව පිළිස්සී තිබූ මළ සිරුරු මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ පිටතට ගැනීම එහිදි සිදු කෙරුණු බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගිනි ගැනීම සිදුවන අවස්ථාවේදී මෙම වැඩිහිටි නිවාසයේ පුද්ගලයන් 72 දෙනෙකු නවාතැන් ගෙන සිට ඇති බවයි වාර්තා වුණේ.

ගින්නෙන් බේරාගත් පිරිස බටගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ තාවකාලිකව නවාතැන් ගැන්වුණු අතර පසුව එම පිරිස යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක් වෙත ආරක්ෂිතව යොමු කිරීමට පියවර ගනු ලැබුවා.

ගිනිගත් වැඩිහිටි නිවාසයේ හිමිකරු මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.