රුපියල් ලක්ෂ හතක් වටිනා විසිතුරු පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(24) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ජා-ඇළ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

ඔහු අද(24) උදෑසන 11.00 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඇන්තූරියම්, ඇලොකේෂියා සහ මොන්ස්ටෙරා ශාක පදුරු 80 කට අධික ප්‍රමාණයක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කර ඇති නවීනතම ස්කෑන් යන්ත්‍ර භාවිතා කරමින් මෙම අත් අඩංගුවට ගැනිම කර තිබෙනවා.

මෙම විසිතුරු පැළ තොගය මෙරටට ආනයනය කිරීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආනයනය බලපත්‍ර නොතිබුණු අතර ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත සහ ශාක නීරෝධායන පනතේ විධ්විධාන ද උල්ලංඝනය කරමින් සිදු කර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ගුවන් මගියා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.