ඉන්දීය සාගරයේදී අමෙරිකානු හමුදා පාලනයට නතු වූ "ටිෆානි" (Tifani) නමැති දැවැන්ත බොරතෙල් ප්‍රවාහන නෞකාව, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් නාවික සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නෞකා ගමන්මග නිරීක්ෂණය කරන දත්තවලට අනුව, මෙම නෞකාව සිය ගමන් මග හදිසියේ වෙනස් කර ඇති අතර, මේ වන විට එය ශ්‍රී ලංකාවට කිලෝමීටර් 700ක් පමණ දුරින් යාත්‍රා කරමින් පවතින බවයි එම වාර්තාවල දැක්වුණේ.

ටොන් ලක්ෂ තුනකට ආසන්න ධාරිතාවයකින් යුත් මෙම නෞකාව මේ වන විටත් බොරතෙල් තොගයක් රැගෙන යමින් පවතින බව "මැරීන් ට්‍රැෆික්" දත්ත පෙන්වා දෙනවා.

ඉරානය සමඟ පවතින සබඳතා හේතුවෙන් අමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති ඉන්දීය නාවික සමාගමකට මෙම නෞකාව අයත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

පසුගිය අප්‍රේල් 10 වනදා පර්සියානු ගල්ෆ් කලාපයෙන් ගමන් ආරම්භ කළ මෙම නෞකාව, පසුගිය 18 වනදා ගාල්ල වරාය ආසන්නයේ මද වේලාවක් නතර කර තිබියදී අමෙරිකානු හමුදා භාරයට ගෙන තිබුණු බවද එහි සදහන්.

මුලින් සැලසුම් කර තිබූ පරිදි ලබන ඉරිදා දින මෙම නෞකාව සිංගප්පූරුවට ළඟා වීමට නියමිතව තිබුණ ද, වත්මන් තත්ත්වය හමුවේ එහි ගමනාන්තය පිළිබඳ අවිනිශ්චිතතාවයක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කලේ.