අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා මාස හතකට ආසන්න කාලයක් අඛන්ඩව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි හිටපු යුධ හමුදා සෙබළා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අනුරාධපුර පූර්වගාමි ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකරුට රුපියල් පනස් දහසක මුදල් ඇපයක් නියම කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊට අමතරව රුපියල් ලක්ෂ පහක් වටිනා ශරීර ඇප දෙකක් නියම කරනු ලැබුවා.

එක් ඇපකරවෙකු පවුලේ ළඟම ඥාතියෙකු විය යුතු බවටද නියෝග කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සාක්සිකරුවන්ට හෝ විමර්ශන වලට බාධා නොකරන ලෙසට සැකකරුට තරයේ අවවාද කර සැකකරුට විදෙස් ගතවීම වලකාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක්ද පැනවීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට සැකකාර හිටපු යුධ හමුදා සෙබළා මෙලෙස දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කළද සැකකරුට යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත වීමට සිදු විය.

ඒ ජීව අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකටය

මෙම අපරාධය සම්බන්ධයෙන් පොලිසිය දැනට පවත්වා ඇති විමර්ශන වල උදෘත (සටහන්) නීතිපතිවරයාගේ දැනුම් දීම මත නීතිපතිවරයා වෙත යැවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරික්ෂක ඒ සී දයානන්ද මහතා අධිකරණයට දැනුම් දුන්නේය

සැකකාර හිටපු යුධ හමුදා සෙබළා විසින් පැහැර ගෙන ගොස් සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගැණුනු වෛද්‍යවරියට අයත් වටිනා ස්මාර්ට් ජංගම දුරකථනය රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණන්‍යට ඉදිරිපත් කරන ලෙස නියෝග කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර හිටපු යුධ හමුදා සෙබළා ඩී එන් ඒ පරික්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර මූලස්ථාන පොලිසියට මීට පෙර නියෝග කර තිබෙනවා.

මෙසේ දැඩි ඇප කොන්දේසි නියම වූයේ ගල්නෑව නව නගරය ඩී කුන ඇළ පාර ලිපිනයේ පදිංචි කේ බී මධුරංග රත්නායක නැමති හිටපු යුධ හමුදා සෙබළෙකු මෙන්ම චීවරධාරයෙකි

සැකකාර හිටපු යුධ හුමදා සෙබළා මීට පෙර හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කල අතර එහිදි පැමිණිළිකාර වින්දිත වෛද්‍යවරිය විසින් ඔහු පහසුවෙන් හඳුනා ගැනිමට සමත් වූවාය

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිශානි සෙනවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක ඒ සී දයානන්ද මහතා පෙනී සිටියේය

සැකකරු මාස හතකට ආසන්න කාලයක් අඛන්ඩව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි අතර රිමාන්ඩ් වූ දිනයේ සිට ඇප නියම වන තෙක්ම ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නෙසිටීම විශේෂත්වයකි

අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥවරයෙකු පෙනී සිටියේය