ප්‍රදේශ කිහිපයක අද දිනයේ මිලිමීටර් 200ට වැඩ් ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට එලෙස තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියා.

අද (13) උදෑසන 6.30ට නිකුත් කර ඇති එම අවවාදාත්මක නිවේදනය පස්වරු 3.30 දක්වා වලංගු වනවා.

මේ අතර දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරනවා.

උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.