රුසියානු විද්‍යාඥයින් විසින් එන්ටරොමික්ස් නමින් mRNA නව පිළිකා එන්නතක් නිපදවා තිබෙනවා. ෆෙඩරල් වෛද්‍ය සහ ජීව විද්‍යාත්මක ඒජන්සිය (FMBA) නිවේදනය කළේ mRNA මත පදනම් වූ පිළිකා එන්නතක් වන Enteromix මිනිසුන් යොදාගෙන කළ සායනික අත්හදා බැලීම් වලදී 100% කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව පෙන්නුම් කර ඇති බවයි. පර්යේෂණාත්මක අදියරවලදී මෙම එන්ටරොමික්ස් එන්නතට පිළිකා සෛල හඳුනාගෙන ඒවා මුළුමනින්ම වැනසීමට පවා හැකි බවත් පිළිකා හැකිලීම සහ ඒවායේ වර්ධනය මන්දගාමී කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිඵල පෙන්වා දී ඇති බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. එම එන්නත පිළිකා හැකිලීමට, පිළිකාවට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීමට සහ රසායනික චිකිත්සාවේ සහ විකිරණවල දරුණු අතුරු ආබාධ වළක්වා ගැනීමට නිර්මාණය කර ඇති බවයි ෆෙඩරල් වෛද්‍ය සහ ජීව විද්‍යාත්මක ඒජන්සිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මොළය, සම සහ ගුද මාර්ග පිළිකා සඳහා ප්‍රතිකාරය ඵලදායී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නව එන්නතෙහි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එය එක් එක් රෝගියා සඳහා අභිරුචිකරණය කර, ඔවුන්ගේ තනි RNA වලට අනුව සකස් කිරීම බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් එම එන්නත සඳහා අවසන් අනුමැතිය මෙතෙක් ලැබී නොමැති අතර ඒ සඳහා යොමුකිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.