දේශීය ලොකු ළුෑණු සහ අර්තාපල් ගොවීන් මුහුණපා සිටින වෙළඳපොළ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ඉදිරියේදී විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

එම ගොවිජනතාව මුහුණපා සිටින ගැටලු එක්වර විසඳීමේ හැකියාවක් නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

දේශීය ලොකු ළුෑණු අස්වැන්න වෙළඳපොළට ලැබෙමින් පවතින නිසා දැනට ලොකු ළුෑණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර දේශීය අල, ලොකු ළුෑණු හා රතු ළුෑණු ලංකා සතොස, කාර්ගීල්ස් සහ කීල්ස් යන ආයතන මගින් මිලදී ගැනීමේ වැඩසටහනක් අද සිට ක්‍රියාත්මක කර ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍යංශය පැවසුවා.

මිලදී ගැනීම සඳහා වූ එකඟතාවක් තුළ මිලක් නියම කරමින් අල, ලොකු ළුෑණු සහ රතු ළුෑණු වගාකරන ප්‍රදේශවල එම ආයතනවලට අදාල මධ්‍යස්ථානවලදී එම මිලදී ගැනීමේ කටයුතු සිදුවනු ඇති.

ඒ අනුව දේශීය අල කිලෝවක් රුපියල 210කටත්, ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 130කටත්, රතු ළුෑණු කිලෝවක් රුපියල් 225කටත් මිලදී ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

කැප්පෙටිපොළ, නුවරඑළිය, බෝගහකුඹුර, දඹුල්ල, සීගිරිය, තඹුත්තේගම, පුත්තලම, යාපනය, නොරොච්චෝලේ සහ අලවෙඩ්ඩි යන ප්‍රදේශවලදී එම මිලදී ගැනීම් සිදුවනු ඇති.

එක් ගොවියෙකුට අල, ලොකු ළුෑණු සහ රතු ළුෑණු උපරිම වශයෙන් කිලෝ 2,000ක් එම ස්ථානවලට සැපයිය හැකි බවද වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍යංශය නිවේදනය කළා.

එලෙස මිලදී ගන්නා දේශිය අල කිලෝවක් රුපියල් 250කටත් ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 150කටත් රතු ළුෑණු කිලෝවක් රුපියල් 295ක මුදලකටත් ලංකා සතොස වෙළඳසැල් මගින් අලෙවි කිරීමට ද පියවර ගෙන ඇති බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.