දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ කාන්තාවකට වන්දි ප්‍රදානය කිරීමේදී ඊට අදාළ කටයුතු කිරීම සඳහා ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ තහනමට ලක්ව සිටින ආපදා සහන සේවා නිලධාරියෙකු තවදුරටත් ජූනි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරණීය අධිකරණය හමුවේ කරුණු දක්වමින් දිට්වා සුළි කුණාටුවෙන් නිවාස  අහිමි වූ පැමිණිලිකාර කාන්තාව වෙත රජය විසින් රුපියල් ලක්ෂ විස්සක වන්දියක් ලබා දී ඇති බවයි.

ඊට අදාල කටයුතු ඉටු කර දීම සඳහා මෙම සැකකරු විසින් අදාළ කාන්තාවගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා  ලබාගෙන ඇති බවත් අල්ලස් කොමිසම පැවසුවා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බව  පෙන්වා දුන් එම කොමිසමේ නිලධාරණිය තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බවත් පැවසුවා.

මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රදානය කළහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් සැකකරු තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය අසත්‍ය පැමිණිල්ලක් බව පැවසුවා.

පැමිණිලිකාර කාන්තාව රුපියල් ලක්ෂ පනහක මුදලක් අපේක්ෂා කළ බවත් එය නොලැබීම හේතුවෙන් කෝපයට පත්ව  ඇය විසින් සිය සේවාදායකයාට එරෙහිව මෙම ව්‍යාජ පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි චෝදනා කළ නීතිඥවරයා මෙම පැමිණිල්ල සිදුකර තිබෙන්නේ සිද්ධිය සිදු වූ බව කියන දිනයේ සිට දින 8 ක් ගත වීමෙන් පසුව බවත් සඳහන් කළා.

තමන්ට සිදුවූ අගතිය වෙනුවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මෙතරම් කාලයක් පැමිණිලි කාරිය ප්‍රමාද කළේ ඇයි දැයි සැකයක් මතුවන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසයි.

එමෙන්ම මෙම සැකකරුට පැවරී ඇති නිල රාජකාරියේ ස්වභාවය පිළිබඳව මීළඟ දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කළා.

ඉන් අනතුරුව සැකකරු ජුනි මස 09 වනදා දක්වා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කළා.