වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වූ චාලි කර්ක්ට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශවලට නොහැකි වී තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට සැකකරන අධි බලැති රයිෆලයක් එරට පොලිසිය විසින් සොයාගෙන ඇති නමුත් ඝාතකයා පිළිබඳ නිශ්චිත තොරතුරක් අනාවරණය කරගැනීමට හැකි වී නැහැ. අමෙරිකානු FBI ආයතනය විසින් සැකකරුගේ ඡායාරූප පෙළක් මේ වනවිට මුදාහැර තිබෙනවා. අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ සැකකරු පිළිබඳ නිවැරදි තොරතුරු සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂයක ත්‍යාගයක් පිරිනමන බවයි. සැකකරු විශ්ව විද්‍යාල වයසේ පසුවන බවත් අසල්වැසි ප්‍රදේශයකට පලා ගොස් ඇති බවත් අමෙරිකානු FBI ආයතනය පවසනවා. 31 හැවිරිදි චාලි කර්ක්, අමෙරිකාවේ යූටා හි විශ්වවිද්‍යාලයක දේශනයක් සඳහා එක්ව සිටියදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක් වුණා. මෙම වෙඩි තැබීමට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගැනුණ ද ඔවුන් පසුව මුදාහැරුණා. එමෙන්ම ඝාතනය සිදුවන අයුරු දැක්වෙන, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ ඉවත් කිරීමටයි ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල විසින් කටයුතු කර ඇත්තේ. ඝාතනයට ලක්වූ චාලි කර්ක් යනු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතිශය සමීපතමයෙකු වනවා. 2021 ජනවාරි 06 වන දින අමෙරිකානු කැපිටල්හි ඇති වූ කෝලාහල අතරතුර, ඇතැම් ට්‍රම්ප් හිතවාදීන් පවා ඔහු විවේචනය කරද්දී කර්ක්, අමෙරිකානු ජනාධිපතිවරයාට පක්ෂපාතීව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චාලි කර්ක්ගේ ඝාතනය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද අදහස් පළ කර තිබෙනවා. “රැඩිකල් වාමවාදී උන්මත්තකයෙකු තවමත් එළියේ සිටින බවයි” ඔහු මාධ්‍ය වෙත පවසා ඇත්තේ. ප්‍රහාරකයා “සතෙකු” ලෙසත් කර්ක් “ශ්‍රේෂ්ඨ මිනිසෙකු” ලෙසත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් හඳුන්වා දී තිබෙනවා.