ඉදිරි දශකය තුළ දේශීය ඖෂධ නිෂ්පාදනය වේගවත් කරමින්, ඖෂධ ආනයනය සඳහා විදේශයන්ට ඇදී යන ඩොලර් ප්රමාණය අවම කරගැනීමට කටයුතු කරන බව සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
එමෙන්ම දේශීය ඖෂධ සඳහා විදේශීය වෙළෙඳපොළ සොයා ගැනීමේ අරමුණින් රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා මාලදිවයින වැනි රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී අප්රිකානු සහ ලතින් ඇමෙරිකානු රටවලටද දේශීය ඖෂධ අපනයනය කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්යවරයා පැවසුවා.
"ඉදිරි දශකය තුළදී දේශීය නිෂ්පාදන වේගවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ දැන් අපිට අවශ්යයි අපේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්ය ආයතන හරහා මේ දේශීය නිෂ්පාදකයින්ට අවශ්ය කරන සහන උපරිමයෙන් ලබාදෙන්න. ඒ වගේම අනිත් පැත්තෙන් අපේ දේශීය නිෂ්පාදනය තහවුරු කරනවාට අමතරව විදේශීය වෙළඳපොල සොයාගෙන යාම තමයි අපේ ඊළඟ බලාපොරොත්තුව. දැන් තවත් අපේ සෞඛ්ය අමාත්යාංශය හැටියට මාලදිවයින් ජනරජයත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා. මොකද මාලදිවයිනේ තිබ්බ ඉන්න කුඩා ජනගහනයත් එක්ක ඔවුන්ට ඖෂධ නිෂ්පාදනය කිරීම හෝ ඉන්දියාව වගේ රටවලින් ඖෂධ සපයා ගැනීම ටිකක් මිල අධිකයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ දේශීය නිෂ්පාදන SPC එක හරහා මාලදිවයිනට අලෙවි කිරීමට අපිට ජාලයක් සකස් කරගැනීමට දැන් සාකච්ඡා ආරම්භ කරලා තිබෙන්නේ. තවත් අපි රටවල් ගණනාවක් හොයාගෙන යනවා. අප්රිකානු රටවල් වලට අපිට පුළුවන් එහෙ මාකට් එකක් පවතිනවා. ලතින් ඇමෙරිකානු රටවල් වලට පුළුවන්. ඒ රටවල් වලටත් අපි අපේ අපනයන වෙළඳපොල ඖෂධ නිෂ්පාදනයේ පුළුල් කළ යුතුයි."
දිවයින පුරා පිහිටි රජයේ රෝහල් පද්ධතියට අවශ්ය කරනු ලබන ඖෂධවලින් 96% ක පමණ සැපයුමක් මේ වන විට තහවුරු කිරීමට සෞඛ්ය අමාත්යාංශය සමත්ව ඇති බවයි සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසුවේ.
"දැනට අපේ රෝහල් පද්ධතියට අවශ්ය ඖෂධ වලින් 85%ක් - 90ක් පමණ අපි ගෙන්වන්නේ විදේශීය රටවලින්. ඒ කියන්නේ කියන්න පුළුවන් මේ වෙලාව වෙනකොට රටේ රජයේ රෝහල් පද්ධතියට අවශ්ය කරන අපි ලබාදෙන ඖෂධ වලින් 96%ක් පමණ සැපයුම සහතික කරන්න දැන් අපි සමත් වෙලා තිබෙනවා. මොකද ඊළඟ දශකයේදී අපේ රටෙන් ඩොලර් පිට යන එක අඩු කරගන්නත්, ඒ වගේම අපනයන ආදායම වැඩි කරගන්නත්. දැන් අපිට තිබෙන සම්ප්රදායික කර්මාන්ත වලට අමතරව අපිට විවෘත වෙන ප්රධාන ක්ෂේත්රය තමයි මේ ඖෂධ නිෂ්පාදනය. ඒකට අවශ්ය කරන හැකියාව අපේ රට සතුව පවතිනවා. අපි දැනටමත් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ නිෂ්පාදනය කරනවා කියන එක අපේ රටේ දේශීය නිෂ්පාදකයන් ලෝකයේ පිළිගැනීමට ලක්වෙලා තිබෙනවා."




