මැදපෙරදිග ස්ථිර සාමය වෙනුවෙන් කෙරෙන දෙවන වටයේ සාකච්ඡා සදහා තවදුරටත් අවිනිශ්චිත වී තිබෙනවා.

මෙම සාම සාකච්ඡා සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර වෙත යාමට නියමිතව තිබූ සංචාරයද හදිසියේම අවලංගු කර තිබෙන බවයි BBC ප්‍රවෘත්ති සේවය පැවසුවේ.

ප්‍රකාශීත සැලසුම්වලට අනුව ඔහු ඉස්ලාමාබාද් නුවර වෙත යාමට අමෙරිකාවෙන් පිටත්වීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේයි.

එහෙත් උප ජනාධිපතිවරයා තවදුරටත් අමෙරිකාවේම රැදී සිටිනවා.

මෙලෙස මෙම සංචාරය අවලංගු කළේ මන්දැයි තවමත් නිශ්චිත හේතුවක් අනාවරණය වී නැහැ. කැපී පෙනෙන තවත් කරුණක් වන්නේ අමෙරිකානු උප ජනාධිපතිවරයාගේ පකිස්ථාන සංචාරය මෙලෙස අවලංගු වන්නේ අද අවසන් වීමට තිබූ මැදපෙරදිග සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට ජානාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබියදී වීමයි.

ඉරානය ද සාම සාකච්ඡා සම්බන්ධයෙන් දරන්නේ පසුගාමී අදහසක්.

මින් ඉදිරියට අමෙරිකාව සමඟ සාකච්ඡා කිරීම පලක් නොමැති බව ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහමුද් නබාවියන් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම, ඉරානයට එරෙහිව කිසියම් ප්‍රහාරයක් එල්ල වුවහොත් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දැඩි ප්‍රහාරයකින් පිළිතුරු දීමට කිසිසේත් පසුබට නොවන බවටයි ඉරාන හමුදා අංශ අනතුරු අඟවා තිබෙන්නේ.

කෙසේවෙතත් සටන් විරාමය දීර්ඝ කරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරාන රජය මෙතෙක් නිල ප්‍රතිචාර දක්වා නැහැ.

සටන් විරාමය දීර්ඝ කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ ගැටුම් අවසන් කිරීම සදහා එක්සත් යොජනා ඉදිරිපත් කරන තෙක් නැවත් ප්‍රහාර එල්ල නොකරන බවයි.

එසේ වුවද  ඉරානයට එරෙහිව පනවා තිබෙන නාවික අවහිර කිරීම් හෙවත් හොමුස් සමුද්‍ර සන්ධියේ යොදා ඇති 'බ්ලොකේඩ්' (Blockade) දිගටම ක්‍රියාත්මක බවද ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පැවසුවා.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් පැවසුවේ සටන් විරාමය දීර්ඝ කිරීමට ගත් තීරණය බෙහෙවින් අගය කරන බවයි.

මෙය කලාපීය සාමය සඳහා තැබූ වැදගත් පියවරක් බව ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසා තිබෙනවා.