තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234 ක් සඳහා පැවති මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විටත් ඉතා උණුසුම් මුහුණුවරකින් සිදු වෙමින් පවතිනවා.
දශක පහක පමණ කාලයක් තමිල්නාඩු දේශපාලනය හසුරුවන ලද DMK සහ ADMK යන ප්‍රධාන දේශපාලන පක්ෂ අබිබවා යමින්, ප්‍රකට නළු විජේගේ තමිලග වෙට්ට්‍රි කසාගම් හෙවත් TVK පක්ෂය මේ වන විට කැපී පෙනෙන ඉදිරියක් ලබා ගැනීමට සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නවතම නිල වාර්තාවලට අනුව, විජේගේ TVK පක්ෂය ආසන 100 සීමාව ඉක්මවා ඉදිරියෙන් සිටින අතර, තනි පක්ෂයක් ලෙස බහුතර බලය ලබා ගැනීමට ඉතා ආසන්නව සිටිනවා.
බහුතර බලය ලබා ගැනීමට නම් එක් පක්ෂයක් දිනා ගත යුතු මුළු ආසන සංඛ්‍යාව 118ක්.
TVK පක්ෂය මෙතෙක් දිනා ඇති ආසන සංඛ්‍යාව 111ක්.
පාලක DMK පක්ෂය ආසන 71 සීමාව දක්වා ඇද වැටී ඇති අතර, ADMK පක්ෂය ද ආසන 51 කට පමණ පහත වැටී තිබෙනවා.
භාරතීය ජනතා පක්ෂය සහ කොංග්රස් පක්ෂය ද ආසන 10කටත් වඩා අඩුවෙන් පසුවනවා.
තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් කලක් තිස්සේ ජයග්‍රහණය කළ ඔහුගේ බලකොටුවක් ලෙස සැලකෙන කොළතූර් ආසනයෙන් පවා ඔහු මේ වන විට පසුපසින් සිටීම විශේෂත්වයක්.
එහි ද ඉදිරියෙන් සිටින්නේ TVK අපේක්ෂක වී.එස්. බාබු. තම දේශපාලන ගමන ආරම්භ කළ පෙරම්බූර් සහ තිරුචි ඊස්ට් යන ආසන දෙකෙන්ම විජේ, මේ වන විට විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ඉදිරියෙන් පසුවනවා.
තමිල්නාඩු ඉතිහාසයේ වාර්තාගත 85.1% ක ඡන්ද ප්‍රතිශතයක් මෙවර සටහන් වූ අතර, එයින් බහුතරයක් තරුණ ඡන්දදායකයින්.
දශක ගණනාවක ද්‍රවිඩ ද්වි-පක්ෂ දේශපාලනය අවසන් කරමින් "තුන්වන බලවේගයක්" ලෙස විජේ පැමිණීම ඉන්දියානු දේශපාලනයේ දැවැන්ත පෙරලියක් ලෙසයි සැලකෙන්නේ.
මේ වන විට විජේගේ නිවස ඉදිරිපිට සහ පක්ෂ මූලස්ථානයේ දහස් සංඛ්‍යාත පාක්ෂිකයින් රතිඤ්ඤා පත්තු කරමින් සහ රසකැවිලි බෙදා දෙමින් ජයග්‍රහණය සමරමින් සිටින බව චෙන්නායි නුවරින් ලැබෙන ආරංචි මාර්ග උපුටා දක්වන ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.




