පසුගිය කන්න කිහිපයේම වී වගාවේ හෙක්ටයාරයකට රු. 25,000 බැගින් හෙක්ටයාර 2 සීමාවට රු. 50,000ක් ලැබෙන බවත් යූරියා ආදී පොහොර යොදවන නමුත් මෙවර මහකන්නයේත් නියමිත වේලාවට පොහොර ආධාර නොලැබෙන බවට ගොවි ජනතාව මැසිවිලි නගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මේ මැසිවිල්ල පසුගිය කන්න 2ම පමණක් නොව ඊට පෙරත් සිදු වූ බවත් නියමිත වේලාවට සහනාධාර මුදල් නොලැබීමට හේතු ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමිනි.
මේ සහනාධාර මුදල් ක්‍රියාත්මක වීම විධිමත්ව හා කාර්යක්ෂමව මෙන්ම වගා කටයුතු ආරම්භ කිරීමට පෙර එය ලබා දිය යුතු බවත් පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කරුණු පෙන්වා දුන්නත් තවමත් නිසි විසදුමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.
එසේම අස්වනු සදහා ස්ථාවර මිල ලබා දීමේ දී නිශ්චිත ආකාරයට එම ස්ථාවර මිල නොලැබෙන බවට ගොවි ජනතාව චෝදනා කරන බවත් වී ගොවියන්ට ස්ථාවර මිලක් නොලැබීමත් ස්ථාවර මිල ගණනය කිරීමේ දී පිරිවැය සම්බන්ධයෙන් කෘෂි පර්යේෂණ ආයතන ඉදිරිපත් කරන මිල ගණන් සහ ගොවියා සදහන් කර මිල ගණන් අතර වෙනසක් ඇති බවත් ස්ථාවර මිල පාලනයට ගන්නා උපක්‍රම ගොවියාට නොගැලපෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.
එමෙන්ම අලි මිනිස් ගැටුම නිරාකරනය කිරීමේ ප්‍රධාන ආයතනය වන්නේ වන ජීවී දෙපාර්තමේන්තුව බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ තව අමාත්‍යාංශ ගණනාවක් සම්බන්ධ වූ ඒකාබද්ධ වැඩපිළිවෙළක් මෙයට ඇත් ද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියා.
මෙහි දී අදහස් දැක්වූ සභාපති හෙක්ටර් අප්පුහාමි මහතා කියා සිටියේ අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට ඊට අදාළ අමාත්‍යාංශ සහ ආයතන නිලධාරීන් කැදවා සැමටම පිළිගත හැකි සාධාරණ විසදුමක් සොයා බැලිය යුතු බවයි.


