ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින ඉන්ධන මිළ ගණන් පහත හෙළීමේ අරමුණින් රුසියාවෙන් ඩීසල් ආනයනය කිරීම සඳහා ගිවිසුමකට එළඹි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඇමෙරිකානු සහ ගෝලීය වෙළඳපොළ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ටොන් ලක්ෂ 3 ක් මුදා හැරීමට එකඟතාව පළ කර ඇති බවයි ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ.

මීට අමතරව ලබන නොවැම්බර් මාසයේදී තවත් ඩීසල් ටොන් ලක්ෂ 5 ක් ද, පසුව තවත් ඩීසල් ටොන් මිලියනයක් ද  ලබා දීමට නියමිතව තිබෙනවා.

මෙම එකඟතාවත් සමග ඇමෙරිකානු භාණ්ඩාගාරය විසින් රුසියානු ඩීසල් අපනයනය සඳහා පනවා තිබූ සම්බාධක ලබන වසරේ අප්‍රේල් 7 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය  වාර්තා කළා.

කෙසේ වෙතත්, රුසියාවෙන් ඩීසල් ආනයනය කිරීම සඳහා ඇමෙරිකාව ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති වොලොඩීමියර් සෙලෙන්ස්කි දැඩි විරෝධය පළ තිබෙනවා.

ඇමෙරිකාවේ මෙම පියවර රුසියානු ජනාධිපතිවරයාට දුන් ”තෑග්ගක්” බවත්, එය වහා අවසන් කළ යුතු යුද්ධය තවදුරටත් දීර්ඝ කිරීමට කරන ආයෝජනයක් බවත් සෙලෙන්ස්කි චෝදනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.