ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය නිමා කිරීම සඳහා වන විශේෂ සාම සැලසුමක් ඉදිරිපත් කර තිබෙනවා.
පාකිස්ථානය විසින් සකස් කරන ලද මෙම රාමුව මගින් අදියර දෙකකින් යුත් විසඳුමක් යෝජනා කර ඇති අතර, එහි මූලික පියවර අද සිටම ක්‍රියාත්මක වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර බලශක්ති සැපයුමට තීරණාත්මක බලපෑමක් එල්ල කරන හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම මෙම යෝජනාවලියේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා .
''ඉස්ලාමාබාද් එකඟතාව'' ලෙස නම් කර ඇති මෙම සැලසුම යටතේ, වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එළඹෙන ලෙස පාකිස්ථානය දෙපාර්ශවයෙන්ම ඉල්ලා තිබෙන බවයි රොයිටර්ස් ප්රවෘත්ති සේවය වාර්තා කර තිබුණේ.
පාකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර්, ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන විදේශ අමාත්‍යවරයා සමඟ ඊයේ රාත්‍රිය පුරා මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබුනේ.
කෙසේ වෙතත්, පාකිස්ථානය, චීනය සහ රුසියාව වැනි රටවල් මෙම සාම පණිවිඩය වෙනුවෙන් පෙනී සිටියත්, ඉරානය මෙතෙක් නිල වශයෙන් සිය එකඟතාව ප්‍රකාශ කර නැහැ .
මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ වහාම සටන් විරාමයකට එළඹීමට අපොහොසත් වුවහොත් ඉරානයට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.




