ආණමඩුව - නවගත්තේගම මාර්ගයේ ධාවනය වූ වාහනවලටද බාධාවන අයුරින් අපරීක්‍ෂාකාරී ලෙස යතුරු පැදියක් ධාවනය කළ තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණයින් දෙදෙනෙකු අපරික්‍ෂාකාරී ලෙස එලෙස යතුරු පැදියක ගමන් කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණ වුණා. ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසිය සිදුකළ විමර්ශනයකදීයි අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එලෙස අත්අඩංගුවට ගත් තරුණයා 19 හැවිරිදි වියේ පසුවන නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මින්නේරිය රජඇල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පසුපැදිකරු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පොළොන්නරුව දෙසට ධාවනය වූ බස් රථයක් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ ගැටී එම අනතුර සිදුව ඇති බවයි.

එහිදී තුවාල ලැබූ යතුරු පැදිකරු සහ පසුපැදිකරු පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකරු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

අක්කරපත්තුව, අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ සිදුවූ තවත් රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

යතුරුපැදියක් ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී එම ත්‍රිරෝද රථයේ ගැටී පෙරලී ගොස් විදුලි රැහැන් කණුවක ගැටී අනතුර සිදුව තිබෙනවා.