2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් "දූෂණය" නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින හිටපු ඇමති එස්.එන්.චන්ද්‍රසේන මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ජූනි මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන අවසන් කර වාර්තා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු වෙත ඉදිරිපත් කර ඇති බවයි.

එම කොමිෂන් සභාවේ විධාන ලබාගෙන සැකකරුට එරෙහිව ඉදිරි නීතිමය පියවර ගන්නා බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව මෙම පැමිණිල්ල ජුනි මස 12 වන දා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.