ශ්‍රී ලංකාව ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය මේ වනවිට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 700 ක් පමණ දුරින් වූ බෙංගාල බොක්කේ ඊසාන දෙසින් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම කැළඹිලි ස්වභාවය ඉදිරි කිහිපයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවයි කාලගුණ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ.

ඒ අනුව දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයයේදී තවදුරටත් අපේක්‍ෂා කෙරෙනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද ප්‍රකාශ කෙරුණා.

එමෙන්ම අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ.

මෙම වැසි තත්ත්වය කෙටි කාලයක් පැවතියද නිරිතදිග මෝසම් වැසි තත්ත්වය ලබන 24 වනදා සිට ආරම්භ වනු ඇති බවද ඔහු කියාසිටියා.

කෙසේවෙතත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලිමක් කළා.

මේ අතර පවතින වැසි තත්ත්වය හේතුවෙන් මේ වනවිට ප්‍රධාන ජලාශ 12 ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

රාජාංගණ, දැදුරුඔය, සොරබොර, ලුණුගම්වෙහෙර, තිස්සවැව, වීරවිල, යෝධවැව, වෙහෙරගල ජලාශද ඒ අතර වන බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එච් එම් ටී එස් ඩී හේරත් මහතා පැවසුවේ.

එම ජලාශ අවට සහ පහත්බිම්වල පදිංචි ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද මෙහිදී ඉල්ලීමක්ද කළා.