ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුසංඛ නොහොත් ”පොඩි ලැසී” අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මෙරට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරු අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බවයි නෙත් නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඉන්දියාවේ මුම්බායි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් අද අලුයම 05.55 ට පමණ පොඩි ලැසී නමැත්තා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.

කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිට අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසුව අතුරුදන්ව සිටි පොඩි ලැසී 2024 වසරේදී මුහුදු මගින් ඉන්දියාවට පලාගොස් තිබුණා.

රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලිසියේ මැදිහත්වීම මත ඉන්දිය ආරක්ෂක අංශ විසින් මුම්බායිහිදී ” පොඩි ලැසී ” නමැතැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ 2025 වසරේ ජනාවාරි මාසයේදීයි.

දිවයිනට රැගෙන ආ පොඩි ලැසී වැඩිදුර විමර්ශන සදහා ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත භාර දීමට කටුනායක ගුවන් තොටුපොළේ සිට දැඩි ආරක්‍ෂාවක් මධ්‍යයේ රැගෙන ගිය බව නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා.