2026 මාර්තු වන විට ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකයිචි (Sanae Takaichi) චීනයට එරෙහිව කටයුතු කිරීම සඳහා ඇමරිකානු- ජපාන සන්ධානය ශක්තිමත් කර ඇති අතර, තායිවානය ආශ්‍රිතව ඇති විය හැකි හදිසි තත්ත්වයන් හමුවේ කලාපීය ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

චීනය සම්බන්ධයෙන් දැඩි මතධාරියෙකු ලෙස සැලකෙන ටකයිචි, තායිවානය ආරක්ෂා කිරීමට ජපාන හමුදාවන්ට සහාය විය හැකි බව වක්‍රව ඉඟි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය අවධාරණය කරන්නේ ”‍තායිවානයේ හදිසි තත්ත්වයක් යනු ජපානයේ හදිසි තත්ත්වයක්”‍ බවයි. ඇයගේ මෙම ස්ථාවරය ටෝකියෝ සහ බීජිං අතර පවතින නොසන්සුන්තාවය තවදුරටත් තීව්‍ර කර තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ ඇමරිකාවේ මිත්‍ර රටවල් සිය වගකීම් වැඩිපුර ඉටු කරනු දැකීමටයි.

මෙම සතියේ වොෂින්ටනයේ සංචාරයක නිරත වන ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකයිචි, ඒ සඳහා උපායමාර්ගික යෝජනාවකින් පිළිතුරු දිය හැකියි.

එනම් චීනය තායිවානය ආක්‍රමණය කිරීමට උත්සාහ කළහොත්, බෙයිජිංහි ගොඩබෑමේ නෞකා දිවයිනට ළඟා වීමට පෙර ඒවා ගිල්වා දැමීමට ජපානය සහාය වනු ඇති බවයි.

මෙය තායිවානයට දක්වන හුදු කරුණාවක් නොවේ. එය ඇමරිකානු-ජපාන සන්ධානයට සහ ජපානයේම පැවැත්ම වෙනුවෙන් වන කැපවීමක්.

ජපාන අග්‍රාමාත්‍යවරියගේ අමෙරිකානු සංචාරයේදී දෙරටේ නායකයින් අතර පැවැති හමුව හුදෙක් තායිවාන ආරක්ෂාවට පමණක් සීමා නොවූ අතර, එය කරුණු කිහිපයක් ඔස්සේ තීරණාත්මක වුණා.

ආරක්ෂක සහයෝගීතාව චීනයේ බලපෑම මැඩපැවැත්වීම සඳහා ජපානය සහ ඇමරිකාව එක්ව මිසයිල නිෂ්පාදනය (උදාහරණ ලෙස AMRAAM සහ SM-3 Block IIA මිසයිල) හතර ගුණයකින් වැඩි කිරීමට එකඟ වි තිබෙනවා.

හොර්මුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය: ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය හමුවේ, හොර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආ ආරක්ෂා කිරීම සඳහා යුද නැව් එවන ලෙස ජනාධිපති ට්‍රම්ප් ජපානයෙන් ඉල්ලා සිටියා.

එහෙත්, ජපානයේ පවතින සාමකාමී ව්‍යවස්ථාව (Pacifist Constitution) හේතුවෙන් සෘජු යුද මෙහෙයුම් සඳහා හමුදාව යැවීමට අග්‍රාමාත්‍ය ටකයිචි මෙහිදී එකඟ නොවූ අතර, ඒ වෙනුවට මානුෂීය සහ තාක්ෂණික සහාය ලබා දීමට යෝජනා කළා.

ඇමරිකාව තුළ ස්වභාවික වායු, බොරතෙල් අපනයන මධ්‍යස්ථාන සහ උසස් තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා ඩොලර් බිලියන ගණනක ජපාන ආයෝජන සිදු කිරීමට ද මෙහිදී සාකච්ඡා වි තිබෙනවා.

මෙම සංචාරය හරහා ටකයිචි අග්‍රාමාත්‍යවරිය උත්සාහ කළේ ඇමරිකාව සමඟ ඇති ආරක්ෂක සන්ධානය තහවුරු කරන අතරම, ජපානය සෘජු යුද්ධයකට පැටලීම වැළැක්වීමටයි.