ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පැවතියද එය එතරම් වර්ධනයවීමක් අපේක්‍ෂා නොකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ එම අඩුපීඩන කලාපය ඉදිරියේදී ඉතා සෙමින් උතුරු දෙසට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.

කෙසේවෙතත් පවතින වැසි තත්ත්වය ලබන 14 වනදා දක්වා පැවතිය හැකි බවද ඔහු කියාසිටියා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඔහු කියාසිටියා.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලග-ුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවිය හැකි බව ද ප්‍රකාශ කෙරුණා.

මේ අතර ඇදහැළෙන මහ වැසි හේතුවෙන් ජලාශ 16 ක වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.