රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රදවා සිටිනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ රාත්‍රි 7ට පමණ ඇය අධිකරණයේ සිට වැලිකඩ කාන්තා අංශයට රැගෙන ආ බවයි.
ඉන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය රදවා ඇත්තේ තවත් කාන්තා රැදවියන් 60 කට ආසන්න පිරිසක් රදවා සිටින ආරක්ෂිත වාට්ටුවක බවද වාර්තා වුණා.
මේ අතර ඇය අද වෛද්‍ය පරික්ෂණයක් සදහා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන යාමට නියමිතව තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළා.
රාජ්‍ය බැංකුවක් විසින් රුපියල් මිලියන 10 ක් සිරිලිය සවිය සංවිධානයේ බැංකු ගිණුමට බැර කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කිරීම, ඊට ආධාර අනුබලදීම සහ සාපරාධි සාවද්‍ය පරිහරණය යන චෝදනා සම්බන්ධයෙන් එලෙස ඇය අත්අඩංගුවට ගනු ලැබුවා.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගත්තේ කිරුළපන පිහිටි නිවසේදීයි.
අදාළ චෝදනාවලට රාජ්‍ය බැංකුවක හිටපු සභාපතිවරයෙකු වූ ප්‍රදීප් කාරියවසම් මහතා ද පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.
කෙසේවෙතත් ඔහු ඇප මත මුදා හරින ලෙසයි අධිකරණය නියෝග කළේ.




