කොළඹ, නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ශ්‍රවණාගාරයේ විදුලි රැහැන් පද්ධතියෙහි ඇති තඹ කම්බි සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම ශ්‍රවණාගාරයේ හයවන මහලේ දොරක් කඩා ඇතුලු වූ කිසියම් පුද්ගලයකු විසින් ශ්‍රවණාගාරයේ විදුලි උපකරණවලට විදුලි සම්බන්ධතාවය ලබාදී තිබූ විදුලි රැහැන් පද්ධතිය කපා ඒ තුළ අඩංගු තඹ කම්බි සොරාගෙන ගොස් තිබෙනවා.

අදාල සොරකම අගෝස්තු මස 01 වෙනි දිනත් මෙම මස 24 වන දිනත් අතර කාලයේදී සිදුව ඇති බව පවසමින් ගොඩනැගිලි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා විසින් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

සොරාගන්නා ලද දේපලවල වටිනාකම මෙතෙක් සනාථ කර නොමැති බවද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.