2025 ඔක්තෝබර් සහ 2026 ජූනි අතර කාලසීමාව තුළ අසල්වැසි පාකිස්තානය සමඟ පැවැති ගැටුම් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන් 499 දෙනෙකු මියගොස් 1,216 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සහායක මෙහෙයුම ජූලි 28 වනදා නිකුත් කළ මානව හිමිකම් වාර්තාවකින් හෙළි කර තිබේ.
කෙසේ වෙතත්, සිවිල් වැසියන්ට හානි සිදු වූ බවට පළවූ එක්සත් ජාතීන්ගේ වාර්තාව ඉදිරිපත් කරන චෝදනා පදනම් විරහිත බව පවසමින් පාකිස්තාන හමුදාව ඒවා ප්‍රතික්ෂේප කළේය.
පාකිස්තාන හමුදා ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් චෞද්‍රි මෙම ප්‍රහාර සාධාරණීකරණය කරමින් කියා සිටියේ, පාකිස්තානය තුළ සිදුවන ත්‍රස්ත ප්‍රහාරවලට සහාය දක්වන හමුදා යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් කාබුල් ඇතුළු ප්‍රදේශ කිහිපයක නිරවද්‍යතා ප්‍රහාර එල්ල කළ බවයි.
පාකිස්තාන තෙහ්රීක්-ඊ-තාලිබාන් (TTP) සංවිධානයට සම්බන්ධ ස්ථාන පමණක් ඉලක්ක කළ බවත්, එම ප්‍රහාරවලින් මියගියේ ත්‍රස්තවාදීන් බවත් ඔහු සඳහන් කළේය. ජනවාරි මාසයේ සිට පාකිස්තානය තුළ වාර්තා වූ ත්‍රස්ත සිදුවීම් 3,145 ක ප්‍රමාණය පෙන්වා දෙමින්, තම ජනතාව ආරක්ෂා කරගැනීමට එල්ල කළ මෙම ප්‍රහාර ආත්ම ආරක්ෂාව උදෙසා ගත් පියවරක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
2025 ඔක්තෝබර් මාසයේදී TTP ත්‍රස්ත ඉලක්ක කර ගනිමින් පාකිස්තානය විසින් කාබුල්, ඛොස්ට්, ජලාලාබාද් සහ පක්ටිකා යන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ දෙරට අතර කලින් කලට ප්‍රහාර හුවමාරු වීම ආරම්භ විය. මේ වසරේ පෙබරවාරි මාසයේදී පාකිස්තාන ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඇෆ්ගන් බලකායන් සීමාන්තික ප්‍රහාර එල්ල කිරීමත් සමඟ දෙරට අතර උදගත වූයේ දැඩි උණුසුම් තත්ත්වයකි.
මෙම ප්‍රහාරවලින් පසුව පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා මොහොමඩ් ආසිෆ් ප්‍රකාශ කර තිබුණේ "අපගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇත. දැන් අප අතර පවතින්නේ විවෘත යුද්ධයක්" යනුවෙනි.
මෙම කාලසීමාව තුළ සිදු වූ විනාශකාරී සිදුවීම වාර්තා වූයේ මාර්තු 16 වනදාය. එදින කාබුල් නුවර පිහිටි 'ඔමිඩ් පුනරුත්ථාපන සහ ප්‍රතිකාර මධ්‍යස්ථානය' ඉලක්ක කර ගනිමින් පාකිස්තානය එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 269 දෙනෙකු මියගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව එක්සත් ජාතීන්ගේ වාර්තා සඳහන් කරයි.
මාස හතරකට පසුව, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය නව පරීක්ෂණයක් ප්‍රකාශයට පත් කරමින් ඉල්ලා සිටියේ මෙම ප්‍රහාරය යුද අපරාධයක් ලෙස පරීක්ෂා කළ යුතු බවයි. අදාළ ගොඩනැගිල්ල හමුදාමය කටයුතු සඳහා භාවිත කළ බවට පාකිස්තානය චෝදනා කළද, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී එම පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආයුධ හෝ අමතර කොටස් ගබඩා කර තිබූ බවට හෝ වෙනත් හමුදාමය කටයුත්තකට භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ඇම්නෙස්ටි ආයතනය පවසයි.
එමෙන්ම ඇෆ්ගනිස්තානයේ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සඳහා වගකිව යුතු බවට පාකිස්තාන නිලධාරීන් චෝදනා කරන අතර, සෑම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකුම ත්‍රස්තවාදියෙකු නොවන නමුත්, සෑම මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි යනුවෙන් ෂරීෆ් චෞද්‍රි ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, මෙම ගුවන් ප්‍රහාර මගින් ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ සෞඛ්‍ය පහසුකම් සඳහා ලබා දී ඇති විශේෂ ආරක්ෂාව මෙන්ම සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා වූ වෙනස් කොට සැලකීමේ, පූර්වාරක්ෂාවේ සහ සමානුපාතිකත්වයේ මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය වී ඇති බව අදාළ වාර්තාව පෙන්වා දෙයි.



