පවතින වැසි තත්ත්වය දෙසැම්බර් මස පළමු සතිය දක්වා අඩු වැඩි වශයෙන් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ උතුර, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට වැඩි වර්ෂාපතනයක් ඇදහැලෙන කරන බවයි.

දිවයින අවට පහළ වායුගෝලයේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇතැයිද කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

මේ අතර ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සහ දිවයින වටා වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව සඳහා සැලකිලිමත් වන ලෙසටයි එම නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ.

මේ අතර පවතින වැසි තත්ත්වය හමුවේ ගංඟා රැසකම ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවා.

ජලාශවල ජල මට්ටම් පිළිබඳව ද ඔහු කරුණු දැක්වූවා.